අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු ඝාතනය කිරීම සඳහා අවි ආයුධ සැපයූ බවට සැක කෙරෙන කාන්තාවක් හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය ඒකාබද්ධව සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ඇය මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම ඝාතනය විදෙස්ගතව සැඟව සිටින 'කරන්දෙණිය සුද්දා' නැමැත්තෙකු විසින් මෙහෙයවා ඇති බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. අම්බලන්ගොඩ නගරයේ පිහිටි සිංගර් වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වූත්, සමගි ජන බලවේගයේ දේශපාලඥයෙකු වූත් හිරාන් කෝසල මහතා ඉකුත් දෙසැම්බර් මස 22 වන දින පෙරවරුවේ, ඔහු සේවය කළ ආයතන පරිශ්‍රය තුළදී වෙඩිතබා ඝාතනය කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකළ අතර, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගියදා කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, වෙඩික්කරුවන්ට පලායාම සඳහා ප්‍රවාහන පහසුකම් සලසා දී, ඔවුන් සම්බන්ධීකරණය කර ඇත්තේ මෙම දෙදෙනා බවය. විදෙස්ගතව සැඟව සිටින 'කරන්දෙණිය සුද්දා' ගේ මෙහෙයවීම මත ඔවුන් මෙම කටයුතු සිදුකර ඇති බවට ද තොරතුරු ලැබී ඇත. මෙම තොරතුරු මත, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය එක්ව කළ විමර්ශනවලදී තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එම තිදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, ඔත්තු බැලීම සඳහා යොදාගත් යතුරුපැදියක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ. එසේම, මෙම අපරාධය සඳහා ගිනිඅවි සැපයූ කාන්තාවක් පිළිබඳ තොරතුරු ද අනාවරණය විය. ඒ අනුව, හික්කඩුව ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, ඝාතනයට භාවිත කළ බවට සැක කෙරෙන පිස්තෝලයක් සහ රිවෝල්වරයක් ඇය සතුව තිබී සොයා ගෙන ඇත. එම කාන්තාව 'කරන්දෙණිය සුද්දා' නැමැත්තා සමඟ සෘජු සබඳතා පවත්වා ඇති බවට ද විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වේ.