lion-regiment-searches-for-missing-family-in-kandapola-nuwara-eliya

 පසුගිය දිනවල කඳපොළ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාපතනයත් සමඟ කඳපොල චන්දිරිගම ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් හේතුවෙන් අතුරුදහන් වූ එකම පවුලේ සාමාජිකයන් සොයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මැදිහත් වී ඊයේ (01) දිනයේ සිට මෙම සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති බව වාර්තා වේ.



මෙම ඛේදජනක සිදුවීමෙන් මවක්, දරුවන් දෙදෙනෙකු සහ එම දරුවන්ගේ මිත්තනිය මෙලෙස අතුරුදහන්ව ඇති අතර ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක මට්ටමේ පවතී. ඉකුත් 27 වනදා දහවල් කාලයේ ප්‍රදේශයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ මෙම නායයෑම සිදුව ඇති අතර, නිවස නායයෑමට ලක්වන එම අනතුරුදායක මොහොතේ අදාළ පවුලේ සියලු දෙනා නිවස තුළ රැඳී සිටි බව ප්‍රදේශවාසීන් විසින් තහවුරු කර ඇත.

මේ අතර, රාගල සහ කඳපොළ ප්‍රදේශවලට පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් රාගල හෙනේගල ප්‍රදේශයේ ජනපද දෙකක් ජලයෙන් යටවීම නිසා තවත් ආපදා තත්ත්වයක් හටගෙන තිබේ. මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 100කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින අතර, එම සියලු අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කඩිනම් පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.




gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4



gossiplanka image 5
gossiplanka image 6