ශ්‍රී ලංකාව පුරා හටගත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදු වූ දැවැන්ත ජීවිත හානි සහ දේපළ විනාශය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය බලවත් ශෝකය පළ කර සිටියි.
දිවයිනට බලපෑ මෙම බිහිසුණු ගංවතුර සහ නායයෑම් තත්ත්වය හමුවේ රුසියානු රජය සහ ජනතාව ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා සිය නිල වෙබ් අඩවියේ සටහනක් තබමින් අවධාරණය කර ඇත.මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන්ගේ හිතවතුන් වෙත සිය හෘදයාංගම ශෝකය පළ කරන බවත්,
ආපදාවට ලක්ව තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් රුසියානු ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ පණිවුඩයේ සඳහන් කර තිබේ. මෙම අසීරු කාල පරිච්ඡේදයේදී රුසියාව ශ්‍රී ලංකාව සමඟ සිටින බවට ද ඔහු සහතික වී ඇත.
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනයක් ලෙස මෙය සැලකෙන අතර, මහා පරිමාණ ගලවා ගැනීමේ සහ සහන සේවා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන තීරණාත්මක මොහොතක මෙම පණිවුඩය ලැබී තිබේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින අතර යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදුව ඇති පසුබිමක, රුසියානු ජනාධිපතිවරයා මෙම ශෝක පණිවුඩය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවගේ ද සහාය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අවස්ථාවකය.
Comments
Post a Comment
Your comment will be visible after approval