පසුගිය දිනවල දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වයේ සෘජු බලපෑම හේතුවෙන් මෙරට එළවළු වගා බිම් රැසක් විනාශයට පත්ව ඇති අතර, මේ හේතුවෙන් වෙළඳපොළ තුළ උග්‍ර එළවළු හිඟයක් නිර්මාණය වී තිබේ. වෙළඳපොළ ආරංචි මාර්ග පවසන පරිදි පවතින සීමිත එළවළු තොග සඳහා ද පාරිභෝගිකයින්ට ඉතා ඉහළ මිල ගණන් දැරීමට සිදුව ඇත.
මෙම අර්බුදකාරී තත්ත්වයට කෙටි කාලීන විසඳුමක් ලෙසත්, සංචාරක කර්මාන්තයේ පවත්වාගෙන යාම සහතික කිරීම සඳහාත් විදෙස් රටවලින් එළවළු ආනයනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව විශේෂයෙන්ම සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිරි මාස දෙකක කාලයක් සඳහා එළවළු ආනයනය කිරීමට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ශීත කළ එළවළු මෙලෙස ආනයනය කිරීමට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.
මේ අතර වර්තමානයේ පවතින ආපදා තත්ත්වය සහ භාණ්ඩ හිඟය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් වෙළඳුන් පාරිභෝගිකයින් අපහසුතාවයට පත් කරන බවට තොරතුරු නිරීක්ෂණය වී තිබේ. භාණ්ඩ අනවශ්‍ය ලෙස ගබඩා කර සඟවා තබා ගැනීම මෙන්ම ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීම වැනි කූට වෙළඳ උපක්‍රම අනුගමනය කරන ඕනෑම ව්‍යාපාරයකට හෝ පුද්ගලයෙකුට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.
තවද මෙම ආපදා තත්ත්වය තුළ මහජනතාවට අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ හඳුනාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. ඒ අනුව අදාළ භාණ්ඩ ලැයිස්තු මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමටත්, සැපයුම්කරුවන් ඒ පිළිබඳව දැනුවත් කිරීමටත් පියවර ගන්නා බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval