පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් එම කාර්යංශය සතු යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට (VMS) රහසිගතව ඇතුළු වී ජාවාරම්කරුවන් වෙත තොරතුරු ලබා දීමේ සිද්ධියක් මුල් කරගෙන එම කාර්යංශයේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ වත්කම් සහ බැරකම් පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගය මත අංශ දෙකකින් විමර්ශන ක්‍රියාත්මක වන අතර, වත්කම් පරීක්ෂාව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ද, තොරතුරු කාන්දු වීමේ අපරාධමය සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද ආරම්භ කර ඇත.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු පිළිබඳ දත්ත රැස්කරන මෙම නිරීක්ෂණ පද්ධතියට විවිධ අයි.පී. ලිපිනයන් 57 කින් බාහිරව ප්‍රවේශ වී ඇති බවත්, එමගින් ලබාගත් රහසිගත තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අතීතයේදී මෙම VMS පද්ධතියේ දත්ත උපයෝගී කර ගනිමින් නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සාර්ථක වැටලීම් සිදු කළද, මෑත කාලීනව අදාළ තොරතුරු පිටතට කාන්දු වීම හේතුවෙන් ජාවාරම්කරුවන් සිය ගමන් මාර්ග සහ බෝට්ටු වෙනස් කරමින් නාවික හමුදා මුර සංචාර මගහැරීමට කටයුතු කර ඇති බව පෙනී ගොස් ඇත.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මීට පෙර නිලධාරීන් බොහෝ දෙනෙකුට ප්‍රවේශ වීමට අවස්ථාව තිබූ මෙම පද්ධතියේ රහස් අංක මේ වන විට වෙනස් කර ඇති අතර, නව මුරපද නිකුත් කර ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂවරයාට පමණක් වන පරිදි ආරක්ෂක පියවර දැඩි කර තිබේ.
මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට සහ රාජකාරිය නිසි පරිදි ඉටු නොකළ බවට සැක කෙරෙන උප පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා ඇති බවත්,
ඔවුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සාර්ථක වැටලීම් සිදු කිරීමට බාධා එල්ල වී ඇති බවත් වාර්තා වේ.
දැනට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 400 කට අධික සංඛ්‍යාවක් සේවය කරන අතර, ඉන් නිලධාරීන් 20 දෙනෙකුගේ පමණ වත්කම් වාර්තා මේ වන විටත් ලැබී ඇති අතර යම් හෙයකින් සැක කටයුතු වත්කම් හෙළි වුවහොත් එම නිලධාරීන් වහාම සේවයෙන් ඉවත් කර නීතිමය පියවර ගැනීමට උසස් නිලධාරීන් තීරණය කර ඇත.
ඉදිරියේදී මෙම කාර්යංශය සඳහා නව නිලධාරීන් බඳවා ගැනීමේදී වඩාත් දැඩි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නියමිත අතර, එහිදී අයදුම්කරුවන්ගේ පූර්ව සේවා වාර්තා සහ වත්කම් බැරකම් පිළිබඳ පුළුල් විමර්ශනයකින් පසුව පමණක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.