දවුලගල පොලිස් වසමට අයත් අලපලාවල ක්‍රීඩාංගණයේදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍යයක් ශරීරගත කරගත් තරුණයන් තිදෙනකු අතරින් එක් අයෙකු පෙරේදා (20) පස්වරුවේ මිය ගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ, අසාධ්‍ය තත්ත්වයේ සිටි 24 හැවිරිදි තරිඳු ලක්ෂාන් කුමාර නැමැති තරුණයා වන අතර, ඔහු මාම්පිටිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (21) පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේදී නීති වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ මහතා විසින් සිදු කරන ලදී. එහිදී මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින්, විස්තරාත්මක වාර්තාවක් සඳහා සිරුරු කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මියගිය තරුණයා සමඟ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍යය ශරීරගත කරගත් අනෙක් තරුණයන් දෙදෙනාගෙන් පොලීසිය ඊයේ (21) දහවල් වනතුරුත් ප්‍රකාශ සටහන් කර නොගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරය අසලදී දැඩි විරෝධයක් එල්ල කළහ. මේ අතර, මියගිය පුද්ගලයා තවත් තරුණයන් දෙදෙනකු සමඟ යම් ද්‍රව්‍යයක් එන්නත් කරගනු දුටු බවට 16 හැවිරිදි පාසල් සිසුවකු පොලීසියට ප්‍රකාශයක් ලබා දී ඇත.
දවුලගල ප්‍රදේශයේ වෛද්‍යවරයකු තරුණයන්ට මත්පෙති අලෙවි කරන බවටත්, ඒ සම්බන්ධයෙන් පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවටත් ප්‍රදේශවාසීහු බරපතළ චෝදනා එල්ල කරති.
මේ අතර, පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ, සැක කටයුතු රසායනික ද්‍රව්‍යය එන්නත් කර ගැනීමෙන් පසු මියගිය තරුණයාට දැඩි ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වී ඇති බවත්, එම අවස්ථාවේදී අනෙක් තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත්ය.