'දිට්වා' ආපදා තත්ත්වය හේතුවෙන් දින 23කට ආසන්න කාලයක් අඩපණව පැවති උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි ආරම්භ කරමින්, අද (20) දින බදුල්ල සහ අඹේවෙල අතර විශේෂ දුම්රියක් ධාවනය කෙරිණි. උඩරට දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවීමත් සමග තාවකාලිකව නතර වී තිබූ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කරමින් මෙම මංගල ගමන ආරම්භ විය.
ඒ අනුව අද පෙරවරු 9.00ට Class S14 වර්ගයේ බලවේග කට්ටල සහිත (SPL 1016) විශේෂ උඩරට මැණිකේ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ අතර, පෙරවරු 9.30ට අඹේවෙල සිට නැවත බදුල්ල දක්වා එහි ධාවන කටයුතු සිදු විය. ආපදා තත්ත්වය හමුවේ දැඩි ලෙස හානි සිදුවූ මෙම මාර්ග කොටස කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO),
විවිධ ස්වේච්ඡා සංවිධාන මෙන්ම දේශපාලන අධිකාරිය ඇතුළු පාර්ශව රැසක් දැවැන්ත පරිශ්‍රමයක් දරා තිබේ.
මෙරට සංචාරක කර්මාන්තයේ කොඳු නාරටිය බඳු වූ උඩරට දුම්රිය මාර්ගය, නුවරඑළිය සහ ඇල්ල වැනි සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ කරා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රධානතම තේරීමක් වන බැවින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගැනිණි. දුම්රිය ගමනාගමනය යළි ඇරඹීමත් සමග අද සිට බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
මෙම විශේෂ අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාවේ සතුට සැමරීමට දුම්රිය ස්ථානයට පැපරේ කණ්ඩායම් ගෙන්වා තිබූ අතර විදෙස් ජාතිකයින් සමග නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහද 'පැපරේ ඩාන්ස්' කරනු දක්නට ලැබිණි.
මෙම අවස්ථාවේ වීඩියෝව මෙතැනින් CLICK HERE

