
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය කේ.ඒ.ආර්. ජයතිලක මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය රාජකාරි සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර යැවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. රෝහලට අයත් ගිලන් රථයක් අවභාවිත කරන්නේ යැයි චෝදනා කරමින් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් විසින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කරයි.
අධ්‍යක්ෂවරයාට එරෙහිව එල්ල වූ මෙම චෝදනා පදනම් කරගනිමින් පසුගිය දිනක රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වූහ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අධ්‍යක්ෂවරයා පවසන්නේ තමන් රෝගීන්ගේ සුබසාධනය මුල් කරගනිමින් රෝහලේ සිදුකළ වෙනස්කම් හේතුවෙන් තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල වී ඇති බවයි. විශේෂයෙන්ම පසුගිය දෙසැම්බර් මාසයේ සිට සවස 4.00 න් පසුව ක්‍රියාත්මක නොවූ බාහිර රෝගී අංශයේ කටයුතු රාත්‍රී 8.00 දක්වා දීර්ඝ කිරීම සහ කාර්ය මණ්ඩලය නියමිත වේලාවට සේවයට වාර්තා නොකිරීමේ ගැටලු විසඳීමට තමන් මැදිහත් වූ බව ඔහු පෙන්වා දෙයි.
තවද වෛද්‍ය සායනවලට සහ හදිසි ප්‍රතිකාර ඒකකයට අනුයුක්ත වෛද්‍යවරුන් අදාළ වේලාවන්හිදී අනිවාර්යයෙන්ම රාජකාරියේ රැඳී සිටිය යුතු බවට නීති දැඩි කිරීම මෙන්ම,
රාජකාරි වේලාවන් තුළ විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරතවීම තහනම් කිරීමට පියවර ගත් බව ද වෛද්‍ය ජයතිලක මහතා සඳහන් කරයි. රෝගී සත්කාරය විධිමත් කිරීමට ගත් මෙම දැඩි තීරණ හේතුවෙන් තමන්ට එරෙහිව පිරිසක් අභූත චෝදනා එල්ල කර මෙම ස්ථාන මාරුව සිදු කිරීමට කටයුතු කළ බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval