'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හටගත් ආපදා තත්ත්වය නිසා අතුරුදන් වූ පුද්ගලයින් 203 දෙනෙකු වෙනුවෙන් මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ආපදාවට ලක්ව අතුරුදන් වූවන් සඳහා රජය මගින් පිරිනමනු ලබන වන්දි මුදල් ඔවුන්ගේ ඥාතීන් වෙත කඩිනමින් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
පසුගිය 02 වැනිදා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයකට අනුව,
හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙකු අතුරුදන් වී සති දෙකක් ගතවන තුරුත් ඔහු හෝ ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබෙන්නේ නම්, ඔවුන් සඳහා මරණ සහතික නිකුත් කිරීමට ප්‍රතිපාදන සලසා ඇත. යම් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් තහවුරු කරනු ලබන්නේ නම්, ඒ සඳහා වන මරණ ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ බලය දිස්ත්‍රික් නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරයා වෙත පවරා දී තිබේ.
අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් ඉදිරිපත් නොවන්නේ නම්, ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සඳහා යොමු කරන අයදුම්පත් වලට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් බලය පවරන ලද ප්‍රාදේශීය නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවනු ඇත. මේ අතර, මෙම ව්‍යසනය හේතුවෙන් මියගිය බවට මේ වන විට හඳුනාගෙන ඇති පුද්ගලයින් 611 දෙනා අතුරින් 126 දෙනෙකු සඳහා මරණ ලියාපදිංචි සහතික නිකුත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval