sjb-takes-power-in-colombo-in-just-three-more-days

 කොළඹ නගර සබාවේ අයවැය එහි පාලනය දරන මාලිමා කණ්ඩායම පරාජය වීමෙන් පසු දේශපාලන කතාබහක් ඇතිව තිබේ. මෙම නගර සබාවේ බලය තමන් සතුව තිබෙන එකක් බවත් මෙම දුර්වල අවස්ථාවේ සජබයට එම බලය ලබාගැනීමට හැකියාව ඇති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද මාධ්‍ය හමුවක් පවත්වා පවසා තිබේ.
ඔහු ඒ ගැන පළකළ අදහස් පහත පරිදිය.



[ප්‍රශ්නය]: මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා නම් කිව්වේ, ඒකාබද්ධ විපක්ෂය විදිහට දැන් කොළඹ බලය ලැබුණා, ඔන්න දැන් වැඩේ හරි වගේ කතාවක්. ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුළුවන්ද?

[පිළිතුර]: සාමාන්‍යයෙන් මහ නගර සභා ආඥා පනත අනුව නගරාධිපතිවරයාට තනි බලයක් ගොඩනගා ගන්න බැහැ. නගර සභාව පවත්වාගෙන යන්නේ අලුත් පනතට අනුවයි. ඒ අනුව යම් යම් වෙනස්කම් සිදු වෙනවා.

මහ නගර සභාවක තිබෙන ප්‍රබලම කමිටුව වෙන්නේ මුදල් කමිටුවයි. ඉතින් මුදල් කමිටුව ගන්නා සියලු මූල්‍යමය තීන්දු මහ සභාවක් තුළ හෝ විශේෂ සභාවක් තුළ අනුමත වෙන්න ඕනේ. යම් හෙයකින් ඒ සඳහා සභාවේ බහුතර අනුමැතිය නොලැබුණොත්, එසේ අනුමත නොවීම හරහා මහ නගර සභාව අකර්මණ්‍ය වෙනවා කියන කාරණය තමයි නීතිමය වශයෙන් පැහැදිලි කරන්න ඕනේ.

මොකද මුදල් කමිටුවේ බහුතර බලය තිබුණත්, මුදල් කමිටුව විසින් ගන්නා සියලුම මූල්‍ය තීන්දු තීරණ මහ සභාව තුළ සහ විශේෂ සභාව තුළ සම්මත වෙන්න ඕනේ. ඉතින් විශේෂ සභාව තුළ තිබෙන බහුතරය නොමැති වීම හරහා, මුදල් කමිටුව, කර්මාන්ත කමිටුව හෝ සෞඛ්‍ය කමිටුව ගන්නා සියලු තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා ඒකාබද්ධ කඳවුරේ සහයෝගය සහ එකඟතාවය අත්‍යවශ්‍ය වෙනවා. මම හිතනවා මේක තමයි නීත්‍යානුකූල තත්ත්වය.

මේ නීත්‍යානුකූල තත්ත්වය නොදන්නා සමහරුන්ට "කට මැරලා" දොඩවන්න පුළුවන්. හැබැයි මුදල් කමිටුව ගන්නා සියලු තීන්දු මහ සභාවේ හෝ විශේෂ සභාවේ අනුමත නොවී, ඒවා ක්‍රියාත්මක කිරීමේ බලයක් නගරාධිපතිවරයාට සහ නගර සභාවට නොමැති බව මම විශ්වාස කරනවා. මම කියවපු පනත අනුව ඒ බව සඳහන් වෙනවා.

ඒ නිසා අද ඒකාබද්ධ කඳවුරේ අවශ්‍ය වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ එකඟතාවය සහ කැමැත්ත අනුව මේ මහ නගර සභාව පවත්වාගෙන යන්න ඕනේ කියලා මම හිතනවා. එහෙම නැත්නම් ඉතින් මේක නැවත කොමසාරිස් පාලනයකට යන්න වෙනවා. කොමසාරිස් පාලනය සහ නගරාධිපති පාලනය කියන්නේ දෙකක් නොවෙයිනේ.

ඒ නිසා මම හිතනවා ආණ්ඩුව මේ තත්ත්වය තේරුම් ගන්න ඕනේ කියලා. ආණ්ඩුවට නොගැලපෙන, ආණ්ඩුවේ ජනමතයට විරුද්ධ වෙච්ච පාලනයක් කොළඹ මහ නගර සභාව විතරක් නෙමෙයි පළාත් පාලන ආයතන සියල්ලේම හැදුවා. එකතු කරගෙන, අහුමුළු සියලු දේ අල්ලගෙන, වරප්‍රසාද දීලා, සල්ලි දීලා තමන්ට බලය හදාගන්න ඕනෑම තැනක හිටගන්න පුළුවන් කියන කාරණය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුව පෙන්නුවා. ඕනෑම නරක අධම තැනක, ඕනෑම අසූචි ගොඩක වුණත් හිටගන්න පුළුවන් බව ඔවුන් ඔප්පු කළා.

දැන් අද ඒ එකතු කිරීමේ ප්‍රතිඵලය පෙරලා ආණ්ඩුවට පහර දෙනවා, මේ කොළඹ මහ නගර සභාවේ අයව පරාජය වීම හරහා.




[ප්‍රශ්නය]: දැන් ඒ කියන්නේ සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මේ හදන්නේ කොළඹ බලය අල්ලන්නද?

[පිළිතුර]: ඉතින් බලය අල්ලලානේ තිබුණේ. ඒ බලයනේ විකෘති කළේ. අපි දැක්කා වටගල ඇමතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවේ ප්‍රබලයන් කොහොමද හැසිරුණේ කියලා. මේ කොළඹ මහ නගර සභාවේ බහුතර බලය තිබුණේ විපක්ෂයට. විපක්ෂයේ තිබුණු ඒ බහුතර බලය විවිධ වූ කුමන්ත්‍රණ සහ "ඩීල්" හරහා ඔවුන් තමන්ට නතු කර ගත්තා.

හැබැයි මාස හයක් යනකොට ඡන්දය දීපු සහ ඔවුන් එක්ක එකතු වෙච්ච සියලු දෙනාම දන්නවා, රට පාලනය වෙන්නෙත් පවුලක් අතින් වගේම, කොළඹ මහ නගර සභාවත් පවුලක් අතින් පාලනය වෙන්නේ කියලා. එහෙම වෙන්න බෑ. ජේවීපී එකේ පාලනයක් වෙන්නත් බෑ කොළඹ මහ නගර සභාව.

කොළඹ මහ නගර සභාවේ සභිකයන්ගේ කැමැත්ත අනුව සහ කොළඹ ජනතාව වැඩි බහුතරයක් ඡන්දය දුන්න කඳවුරේ කැමැත්ත අනුව මහ නගර සභාවේ පරිපාලනය ඉදිරි අවුරුදු හතර තුළ පාලනය වෙන්න ඕනේ. එසේ නොවන්නට, දකින දකින බොහෝ දෙනා එකතු කර ගත්තත්, ඡන්දය දුන්නත් වැඩක් වෙන්නේ නෑ. කයිවාරු ගැහුවට මේක බොරුවක් වෙනවා කියන කාරණය දකිනකොට, ඊට විරුද්ධ වීම මේ මොහොතේ ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ කියලා මම හිතනවා.

[ප්‍රශ්නය]: ඒ කියන්නේ නව නගරාධිපති කෙනෙක් පත් කරන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවද?

[පිළිතුර]: ඒක අවුරුදු දෙකකින් සිද්ධ වෙන්නේ. නමුත් මම හිතනවා මේ වෙලාවේ මේ අකීකරු පාලනය සිදු කරන පළාත් පාලන ආයතන හැමෝම තමන්ගේ තරම දැනගෙන අවශ්‍ය වැඩපිළිවෙල හදන්න ඕනේ. ඒ නිසා මේක තේරුම් අරගෙන, මේකේ බලය තියෙන්නේ කාටද, බහුතරය තියෙන්නේ කාටද කියන කාරණය බලන්න ඕන. ඒ බහුතර කඳවුරත් එක්ක එකතු වෙලා මේ මහ නගර සභාව ඉදිරියට ගෙනියන්න වෙනවා.




[ප්‍රශ්නය]: දැන් ඔබතුමා කිව්වා තව පෝය දෙකයි ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව පෙළ ගැහෙනවා කියලා. හැබැයි ජනතාව නම් සමහර තැන්වල මේ ආණ්ඩුව අගය කරනවා. ඒ කියන්නේ සහනාධාර දෙනවා, මුදල් 25,000 දෙනවා, ඒ නිසා හොඳයි කියලා කියනවා. ජනාධිපතිතුමාට ලොකු පිළිගැනීමක් තියෙනවා තවම. ඒ වගේම මේක 159ක් ඇමතිවරු ඉන්න ආණ්ඩුවක්. කොහොමද තව පෝය දෙකකින් ආණ්ඩුව ගෙදර යවන්නේ?

[පිළිතුර]: අද කෝ ඒ සහන? ලක්ෂ දහයක් දෙනවා කිව්වා. ගෙවල් විශාල වශයෙන් විනාශ වෙලා, පොළොවට සමතලා වෙච්ච ගෙවල් වලට අද මොනවද දීලා තියෙන්නේ? දෙනවා කියන කාරණය පාර්ලිමේන්තුවේ කිව්වා ඇරෙන්න, ආපදා හානියට ලක්වූ අයට සහන ලැබුණේ නෑ. ඒ ගැසට්ටුව තුළ ලක්ෂ දහයේ කතාව ගැසට් කරලා තියෙනවා, ලක්ෂ 50 කතාව ගැසට් කරලා තියෙනවා, ලක්ෂ 100 ගැසට් කරලා තියෙනවා.

ඉතින් ජනතාවට මාධ්‍ය තුළ සහ පාර්ලිමේන්තුවේ බොරුව කියලා රටටම පෙන්නලා, ඒ අහිංසක අසරණ ජනතාවට ඒ සහන නොලැබී යනවා නම්, දෙන්න බැරි නම්, ඔවුන් අසරණ වෙලා ඉන්නවා නම්, ඔවුන්ගේ ජීවිත සහ පවුලේ සාමාජිකයන් අහිමි වෙලා, දේපල ටික අහිමි වෙලා තියෙනවා නම්, මේකත් දේශපාලන වශයෙන් බොරුවකට ලක් කිරීමක්.

මේ ආණ්ඩුව හොඳයි කියන කවුරු හෝ ඉන්නවා නම්, ඇත්තටම ඔවුන් කන්නේ බත් නෙමෙයි "වල්". ඒ නිසා බත් කන, රටේ සාමාන්‍ය පුරවැසියට තේරෙනවා නම් මේ බොරුව තමයි රටේ අනාගතය වෙලා තියෙන්නේ කියලා, "හත් වලාමේ" මේ රටට අනාගතයක් තිබේද කියන කාරණය ගැන බියක් ඇතිවෙනවා.

ඒ නිසා මම හිතනවා මේ රටේ පුරවැසියෝ මේක හොඳට තේරුම් ගන්න ඕනේ. බහුතරය තේරුම් ගන්න ඕනේ. මේ රටේ ආර්ථිකය බොරුවෙන් බංකොලොත් කරන මේ ආණ්ඩුව පෙරලන්න අනිවාර්යෙන් තව පෝය දෙකකින් ජනතාව එකතු වෙනවා කියන කාරණය අපි බය නැතුව කියනවා. තව පෝය දෙකකින් ඒකට නායකත්වය දෙන්නේ සමගි ජන බලවේගයයි. රටේ ජනතාව එකතු වී අපට දෙන්න තියෙන සහයෝගය දෙන්න විතරයි ඕනේ.

අපිට මේ ආණ්ඩු පෙරලන්න පහුගිය කාලේ වගේ ජනතා විමුක්ති පෙරමුණේ වීදි සටන් කරන්න වුවමනා නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම සහ බොරුව රඟපෑම හරහාම මේ ආණ්ඩුව තව තවත් ශක්තිමත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව පෙරලන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි හදා ගත්තා. මේ රටේ විපක්ෂයවත්, මේ රටේ ජනතාවත් දන්නවා මේ ආණ්ඩුවේ බොරුව, නොහැකියාව සහ රැවටීම නිසා ආණ්ඩුව වැටිලා ඉවරයි කියලා. ආණ්ඩුව වට්ටන්න දෙයක් නැහැ.

ඊළඟ ආණ්ඩුව හදාගන්න පුළුවන් වැඩපිළිවෙල, ශක්තිමත්ව ගොඩනැගෙන හයිය තියෙන්නේ සමගි ජන බලවේගයට විතරයි. අපිට පුළුවන් මේ රටේ ආර්ථිකය කොතනටද ගෙනියන්නේ, මේ ආර්ථිකය කොතනින්ද උස්සලා තියන්නේ කියලා තීරණය කරන්න. ඒ ආර්ථිකයට ජවය දෙන්න පුළුවන් වැඩපිළිවෙල සහ යෝජනා ගෙන එන්න පුළුවන් මොළ කාරයෝ ඉන්නේ සමගි ජන බලවේගයේ.

අපි අහනවා, අපේ හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් ඇතුළු ඒ කණ්ඩායමට තියෙන දැනුම, ශක්තිය සහ හැකියාව අපි විපක්ෂයේ ඉඳලත් පෙන්නලා තියෙනවා නේද කියලා. ඒ නිසා මම හිතනවා රටේ ජනතාව මේක තේරුම් ගනීවි කියලා. මේ රටේ බොරු රඟපාන දේශපාලනය පැත්තකට දාලා, රට හදන්න පුළුවන් බුද්ධිමතුන් ඉන්න සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් රටේ ජනතාව නිරායාසයෙන්ම එකතු වේවි.



[ප්‍රශ්නය]: දැන් ඒ වගේම තව නැවත වතාවක් කතා බහක් ඇති වෙලා තියෙනවා සමාජ මාධ්‍ය සහ විවිධ දේශපාලන තැන්වල, රනිල් වික්‍රමසිංහ මහත්මයා නැවත පාර්ලිමේන්තුවට එන්න සූදානමක් තියෙනවද කියලා. මොකද හිතෙන්නේ ඒ ගැන?

[පිළිතුර]: ඔව් ඉතින් මම හිතනවා ගෝඨාභය ආණ්ඩුව වැටීම හරහා පාර්ලිමේන්තුවට ඔහුගේ ආගමනය සිදු වුණා. පසුව පොදුජන පෙරමුණේ බහුතරයේ සහයෝගයෙන් ජනාධිපතිවරයෙක් හැටියටත් පත් වුණා.

ඉතින් එහෙම හීන දකිනවා නම්, ආණ්ඩුව ඇතුලේ යම් කුමන්ත්‍රණයක් තිබෙනවද කියලා අපි දන්නේ නැහැ. ඔවුන්ගේ නොහැකියාව සහ ඔවුන්ගේ බිඳ වැටීම ආරක්ෂා කරගන්න, නැවත රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තුවට ගෙනල්ලා, හෝ ජනාධිපති කරවලා අවශ්‍ය වැඩපිළිවෙල හදාගන්න ඔවුන් උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. ඒක දේශපාලනික "ගේම්" එකක්දෝ කියන සැකය සහ සාංකාව අපට තියෙනවා. මොකද අද රටේ ජනතාවට විවිධ ආර්ථික අර්බුද රාශියක් තිබෙනවා. ඒවා රට තුළ ගොඩනැගෙමින් පවතිනවා. මේ රටේ ආර්ථිකය විනාශ වෙනවා.

රටේ ජන ජීවිතය විනාශ වෙනකොට ඒක ගලවගන්න පුළුවන් කවුද කියන කාරණය ගැන හිතනකොට, මේ ආණ්ඩුව කල්පනා කරනවා ඇති ආණ්ඩුවේ නොහැකියාව සහ ආණ්ඩුවෙන් වෙච්ච වැරදි ටික ආරක්ෂා කරගන්න පුළුවන් නායකයෙක් ගැන. මොකද ගෝඨාභය රාජපක්ෂ බිඳ වැටෙනකොට එදා හිටපු ආණ්ඩුවේ හොරු තක්කඩි ටික ආරක්ෂා වුනේ කොහොමද, ආරක්ෂා කළේ කවුද කියන කාරණය රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ.

ඒ නිසා මේ ආණ්ඩුවේ තිබුණු මේ ඔලමොට්ටල වැඩපිළිවෙලවල් ටික ආරක්ෂා කරන්න පුළුවන්, ඔහුට කීකරු වෙච්ච නායකයන් සොයමින් කටයුතු කරනවද කියන සැකය අපිට තියෙනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා.

[ප්‍රශ්නය]: රනිල් මහත්තයා පාර්ලිමේන්තුවට ආවොත් හොඳයිද?

[පිළිතුර]: නැහැ ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලනික පරිණතභාවය සහ ඔහුගේ දේශපාලන වැඩපිළිවෙල අපි පහුගිය කාලය තුළ දැක්කා. ඔහුට වැරදුනේ හැමදාම මේ රට බංකොලොත් කරපු, විනාශ කරපු කඳවුරත් එක්ක හිටපු එකයි. ඔවුන්ව ආරක්ෂා කරපු එකයි. ඒක තමයි එතුමාගේ ලොකුම වැරැද්ද. ඒ ඇරෙන්න වෙන වැරැද්දක් අපි දකින්නේ නැහැ.

ඒ නිසා මම හිතනවා ඔහු මේ මොහොතේ පාර්ලිමේන්තුවට එනවද නැද්ද කියන කාරණය පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ. ඔහු දේශපාලනයෙන් අයින් වෙනවා කියනවා, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් අයින් වෙනවා කියනවා. ඉතින් එහෙම කියන රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවට ඇවිල්ලා දේශපාලනය කරයිද කියන කාරණය පිළිබඳව ඔවුන්ගෙන් තමයි අපිට විමසන්න වෙන්නේ.

[ප්‍රශ්නය]: ඒ කියන්නේ දැන් රනිල් මහත්තයා ස්ථිරවම එනවා. දැන් ඔබතුමන්ලා සාකච්ඡා කරානේ පහුගිය දවස්වල සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කරන්න. දැන් ඒ වැඩේ ඉවරයිද?

[පිළිතුර]: නැහැ, එකතු වීම පිළිබඳව සාකච්ඡාව තාමත් සිද්ධ වෙනවා කියන කාරණය තමා අපි දන්නේ. අපි පාර්ලිමේන්තුවට එතුමා එනවද නැද්ද කියන කාරණය පිළිබඳව මම නම් පෞද්ගලිකව දන්නේ නැහැ.

හැබැයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීමේ අවශ්‍යතාවය රටේ ජනතාවටත් දැනෙනවා. ඒ නිසා රටේ ජනතාවට දැනෙන දේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ටත්, සමගි ජන බලවේගයේ නායකයාටත් තේරෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා තනතුරු වලට වඩා, මේ ගිලිලා ඉන්න රටේ ජනතාව සහ ආර්ථිකය ගොඩගන්න එක වැදගත්.

රට දියුණු කරන්න පුළුවන් හයිය තියෙන, ශක්තිය තියෙන, දැනුම තියෙන, මොළ තියෙන, හොරු නොවෙන, වංචනිකයන් නොවෙන කඳවුර ඉන්නේ අද සමගි ජන බලවේගය තුළයි කියන කාරණය අපි ඉතා පැහැදිලි කරනවා. මේ ආණ්ඩුවට සමගි ජන බලවේගයේ කවුරුත් අද හොරෙක්, වංචනිකයෙක්, දූෂිතයෙක් කියලා නම් කරලා, පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා, අල්ලස් කොමිසමට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා හිරගත කරන්න බැරි වෙලා තියෙනවා. අපේ කඳවුර ඇතුලේ ඉන්නේ හොඳ කණ්ඩායමක් කියන කාරණය දැන් ඔප්පු කරලා හමාරයි.

මම හිතනවා මේක ඉතා වැදගත්. රටේ ජනතාව විදිහට මේ සමගිය සහ අසමගිය නිසා මේ රටට නොගැලපෙන පාලනයක් නිර්මාණය වුණා. ඒ අසමගිය හරහාම රට විනාශ කරන මෛත්‍රීපාල සිරිසේන වගේ පාලනයක් නිර්මාණය වුණා. එවන් පාලනයක් නොවෙන්න නම් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය බුද්ධිමත්ව තීන්දු තීරණ ඉදිරියේදී ගනී කියන විශ්වාසය අපට තිබෙනවා.

[ප්‍රශ්නය]: අවසාන වශයෙන්, දැන් අර අම්බලන්ගොඩ වෙඩි තැබීමක් වුනානේ. ඒකේ මැරුණේ සමගි ජන බලවේගයට සම්බන්ධ කෙනෙක්ද? මොකක්ද ඒ සිදුවීම?

[පිළිතුර]: මම මාධ්‍ය තුළ දැක්කා මියගොස් ඇත්තේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙක් කියන කාරණය. ඉතින් මම හිතනවා ඊට එහා ගිය බරපතල කාරණයක් අද පාතාලය සහ මේ රටේ සාමාන්‍ය ජන ජීවිතයට තිබෙන ආරක්ෂාව පිළිබඳව තියෙනවා.

පසුගිය ව්‍යසනය සිදුවීම හරහා සමහර දේවල් රටේ ජනතාවගෙන් ඈත් වුනාට, ඒ ව්‍යසනයට කලින් මේ රටේ තිබුණු බරපතල ප්‍රශ්න තමයි තැන තැන සිදුවන මිනීමැරුම් සහ වෙඩි තැබීම්. ඉතින් මේ වෙඩි තියන පාතාලය මර්ධනය කරගන්න බැරි ආණ්ඩුව සහ පොලිසිය, අද රටේ ජනතාවට ආරක්ෂාව දෙයිද කියන කාරණය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා.

හැබැයි ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ කණ්ඩායමට වැරැද්දක් වුණාම, කාට හරි ගැහුවම, බීමත්ව ගිහිල්ලා රිය අනතුරක් කළාම, මේ රටේ පොලිසිය වෙනම නීතියක් ක්‍රියාත්මක කරලා ආණ්ඩුව ආරක්ෂා කරනවා. නමුත් මේ රටේ පුරවැසියා, මහ පාරේ මියයන මනුස්සයා ආරක්ෂා කරගන්න පුළුවන් මානුෂිකත්වයක්, හයියක්, දැනුමක් සහ ශක්තියක් මේ රටේ පොලිසියට නැහැ කියන කාරණය තමයි අපට නම් හැඟෙන්නේ.