bangladesh-interim-leader-yunus-is-a-hypocrite-taslima-nasreen-accuses

 පිටුවහල් කර සිටින ප්‍රකට ලේඛිකාවක් සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන තස්ලිමා නස්රීන් විසින් බංගලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යූනුස් වෙත දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ඔහු සදාචාරාත්මක කුහකත්වයේ සංකේතයක් බව ප්‍රකාශ කර තිබේ.

ඇමරිකාව තුළ කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය පිළිබඳව හඬ නගන යූනුස්, අනෙක් පසින් බංගලාදේශය තුළ සිය පාලනය යටතේ කාන්තා අයිතීන් සහ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය වීමට ඉඩ හැර සිටින බවට ඇය චෝදනා කරයි. මෙය මුළුමනින්ම දෙබිඩි පිළිවෙතක් බව පෙන්වා දෙන ඇය, ඔහුගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් නස්රීන් පෙන්වා දී ඇත්තේ, යූනුස් ජාත්‍යන්තර වේදිකාවල කාන්තා සවිබල ගැන්වීම් ගැන දේශන පැවැත්වුවද, වර්තමාන බංගලාදේශය තුළ මැර ප්‍රහාර, මහමගදී පහර දී මරා දැමීම් සහ ආගමික ගැටුම් එදිනෙදා සිදුවීම් බවට පත්ව ඇති බවයි.


ඔහුගේ පාලනය යටතේම කාන්තාවන් දූෂණයට ලක්වීම සහ ඔවුන් භීෂණයට පත් කිරීම සිදුවන අතර, ජනතාවට හිංසනය සහ අන්තවාදය හමුවේ බියෙන් ජීවත් වීමට සිදුව තිබේ. මේ වන විට බංගලාදේශය බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බව ඇය අවධාරණය කරයි.

යූනුස්ගේ ආර්ථික අරමුණු පිළිබඳවද ප්‍රශ්න කරන තස්ලිමා නස්රීන්, නිව්යෝර්ක් නුවර පිහිටි 'ග්‍රාමීන් ඇමරිකා' ආයතනයේ සම-නිර්මාතෘ සහ අධ්‍යක්ෂවරයා ලෙස ඔහු වසර හතරක් තිස්සේ වැටුප් ලබාගෙන ඇති බව හෙළි කරයි. ඔහු ජාත්‍යන්තර සම්මාන ලබා ගනිමින් පළමු පන්තියේ ගුවන් ගමන්වල යෙදෙන අතරතුර, ඇමරිකාවේ වෙසෙන දුප්පත් කාන්තාවන් ණය උගුලක සිර කරමින් ලාභ උපයන බවට ඇය චෝදනා කරයි. ගෝලීය වශයෙන් කාන්තා ව්‍යවසායකත්වය ගැන කතා කළද, බංගලාදේශයේ ඔහුගේම ආධාරකරුවන් විසින් ඇඟලුම් කම්හල් ගිනි තබමින් දහස් ගණනක් දුප්පත් කම්කරුවන්ගේ ජීවනෝපාය අහිමි කරමින් සිටින බව ඇය පෙන්වා දෙයි.

ග්‍රාමීන් ඇමරිකා ආයතනයට අරමුදල් සපයන පරිත්‍යාගශීලීන් සහ රජයන් යූනුස් වෙත ලබා දෙන සහයෝගය පිළිබඳව වහාම නැවත සලකා බැලිය යුතු බවට තස්ලිමා නස්රීන් ඉල්ලීමක් කරයි. ඇය පවසන්නේ මෙම අවස්ථාවේදී යූනුස් සමඟ දිගින් දිගටම සම්බන්ධ වී සිටීම යනු බංගලාදේශයේ සිදුවන අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අනියම් ආකාරයෙන් හවුල් වීමක් බවයි. ලෝකය දැන්වත් යූනුස්ගේ මෙම දෙබිඩි ස්වභාවය සහ ඔහුගේ සැබෑ මුහුණුවර හඳුනා ගත යුතු බව ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටී.