දිවයිනේ පවතින ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් ක්ෂේත්‍රගත රෝහලක් (Field Hospital) පවත්වාගෙන යාම සඳහා ජපාන වෛද්‍යවරුන් ඇතුළු 41 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කාර්ය මණ්ඩලයක් අද (04) අලුයම දිවයිනට පැමිණියහ.
මෙම වෛද්‍ය කණ්ඩායම විසින් සිදු කරන ලද මූලික ක්ෂේත්‍ර සමීක්ෂණයකට අනුව, හලාවත මහ රෝහල ආසන්නයේ මෙම තාවකාලික රෝහල ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
අදාළ ක්ෂේත්‍ර රෝහල පවත්වාගෙන යාමට අවැසි ඖෂධ, වෛද්‍ය උපකරණ සහ රසායනාගාර පහසුකම් ඇතුළු සියලුම තාක්ෂණික මෙවලම් මෙම ජපන් සහන සේවා කණ්ඩායම විසින්ම රැගෙන විත් ඇති අතර, ජපාන රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක මෙමගින් සියලුම වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ ලබා දීමට නියමිතය.
හොංකොං සිට පැමිණි කැතේ පැසිපික් ගුවන් සේවයට සහ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානා මගින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මෙම නියෝජිත පිරිස පිළිගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය.
එම අවස්ථාවට විද්‍යා සහ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval