ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්තිමය ණයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ බලශක්ති ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ පැකේජයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම මෙම මූල්‍ය පහසුකමේ මූලික අරමුණ වන අතර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.
2024 විදුලිබල පනත සහ එහි 2025 සංශෝධනයට අනුකූලව මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන අතර, ඒ යටතේ විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය, පද්ධති මෙහෙයුම් සහ බෙදා හැරීම සඳහා වගකිව යුතු ස්වාධීන අනුප්‍රාප්තික සමාගම් කිහිපයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙන් කර ස්ථාපිත කිරීමට නියමිතය.
සමස්ත විදුලිබල ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසාරභාවය තහවුරු කිරීම සඳහා පිරිවැය මත පදනම් වූ විදුලි ගාස්තු ක්‍රමවේදයක් පවත්වාගෙන යාමට සහ විදුලිබල මණ්ඩලය සඳහා පුළුල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මෙම වැඩසටහන හරහා සහාය හිමිවනු ඇත.
පිහිටුවනු ලබන නව අනුප්‍රාප්තික සමාගම් අතර පවතින ණය විනිවිදභාවයෙන් යුතුව බෙදා හැරීමට සහාය වීම මෙන්ම එම සමාගම්වල මූල්‍ය ශක්‍යතාව සහ ණය යෝග්‍යතාව වර්ධනය කරමින් වඩාත් ස්ථාවර පදනමක් මත ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීම මෙම පියවරයන්හි අරමුණ බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.
මෙම ණය මුදලට අමතරව තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක තාක්ෂණික ආධාර දීමනාවක් ලබා දීමට ද ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන ඇති අතර එම ප්‍රදානය වෙන් කර ඇත්තේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දීම, නව සමාගම්වල ධාරිතාව ගොඩනැංවීම සහ ඒවායේ ව්‍යාපාරික සංවර්ධන සැලසුම් සකස් කිරීමට උපකාර කිරීම වෙනුවෙනි.
Comments
Post a Comment
Your comment will be visible after approval