
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට කඩිනම් මූල්‍ය පහසුකමක් (Rapid Financing Instrument - RFI) යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ලබා දීමට සිය එකඟතාවය පළ කර ඇත.
මෙම අනුමැතිය ලැබී ඇත්තේ, ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (19) රැස්වීමෙන් පසුවය. 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ හානියෙන් පසුව රට මුහුණ දෙන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම පිණිස අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජය මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබුණි.
මෙම නව මූල්‍ය පහසුකම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට දැනටමත් ලබා දී ඇති විස්තීර්ණ අරමුදල් පහසුකමට (Extended Fund Facility - EFF) අමතරව පිරිනමන එකකි. විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස්වන සමාලෝචනය දැනටමත් අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබා දීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් 15 වන දින රැස්වීමට නියමිතව තිබුණ ද, කඩිනම් මූල්‍ය පහසුකම සඳහා වූ ඉල්ලීම හේතුවෙන් එම රැස්වීම කල් දමන ලදී.
ඒ අනුව, විස්තීර්ණ අරමුදල් පහසුකම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා IMF මෙහෙයුම් කණ්ඩායමක් 2026 මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.