පසුගිය 11 වැනිදා සපුගස්කන්ද, දෙනිමුල්ල ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර කුඩා බිලිඳෙකු ඇතුළු තිදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව, හිටපු කථානායක සහ ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මහර මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (19) පස්වරුවේ නියෝග කළේය.
සැකකාර මන්ත්‍රීවරයා ජාතික ප්‍රවාහන වෛද්‍යායතනය වෙත ඉදිරිපත් කර රිය පැදවීම සඳහා ඔහු සතු යෝග්‍යතාව පරීක්ෂා කර බලා ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර සිටියේය.
සැකකාර මන්ත්‍රීවරයා මේ වන විටත් රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි බවත්, එබැවින් ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු කරුණු දැක්වීමට ඉදිරිපත් වූ බවත් අධිකරණයේදී අනාවරණය විය. අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බීමත්ව සිටියේද යන්න තහවුරු කර ගැනීම සඳහා රෝහල්ගතව සිටියදී ලබා ගත් රුධිර සහ මුත්‍රා සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතත්, ඊට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අනතුරින් පාදයකට හානි සිදුවූ කාන්තාවට රුපියල් 50,000 ක මුදලක් සහ තුවාල ලැබූ බිලිඳාට හා මවට රුපියල් 25,000 බැගින් වූ මුදලක් මුල් අවස්ථාවේදීම ලබා දීමට කටයුතු කළ බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේය. මෙම නඩුව තවමත් විභාග වෙමින් පවතින බැවින් වන්දි මුදල් සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති වුවද,
පැමිණිලිකාර පාර්ශ්වය අදාළ සහනදායි මුදල ලබා ගැනීමට කැමැත්ත පළ කරන්නේ නම් ඊට අධිකරණයේ බාධාවක් නොමැති බව මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, පාදයට දැඩි ලෙස හානි වී ඇති කාන්තාවගේ සැමියා අධිකරණයට දැනුම් දී සිටියේ තමන් එම මුදල ලබා ගැනීමට සූදානම් නොමැති බවයි.
සැකකාර මන්ත්‍රීවරයා තවදුරටත් රෝහල්ගතව සිටීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, අනතුරෙන් තුවාල ලැබුවේ කවර පාර්ශ්වයක් දැයි පොලිසියෙන් විමසා සිටියේය. අනතුරින් පැමිණිලිකාර පාර්ශ්වයේ තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය තහවුරු කළ අතර, එසේ නම් තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහල්ගතව සිටින්නේ මන්දැයි මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් විත්තියේ නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුව ලබන ජනවාරි මස 16 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval