ශ්‍රී ලංකාවේ අතීත ආණ්ඩු සමයන්හිදී දමිළ තරුණයන් බොහෝ පිරිසක් දීර්ඝ කාලීනව රඳවා තබා ගැනීමට හේතු වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), මෙවර පාරාවළල්ලක් වෙමින් ඊ.පී.ඩී.පී නායක සහ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා වෙත එල්ල වී තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රාජපක්ෂ පාලන සමයන්හිදී රජයට සහාය පළ කළ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ ඔහු, වර්තමානයේ එම පනත යටතේම පැය 72 ක කාලයක් රැඳවුම් භාරයේ පසුවීම දෛවයේ සරදමක් බඳු සිදුවීමක් ලෙස බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.
ආරක්ෂක අංශ විසින් ඩග්ලස් දේවානන්දාගේ ආරක්ෂාවට ලබා දුන් පිස්තෝලයක්, 2020 වසරේදී ඝාතනයට ලක්වූ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සහචරයෙකු සතුව තිබී සොයා ගැනීම මෙම අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව වී තිබේ.අදාළ පිස්තෝලය තමන්ට ලබා දුන්නේ ඩග්ලස් දේවානන්දා විසින් බවත්, එම ගිනි අවිය භාවිතා කරමින් මිනීමැරුම් රැසක් සිදු කළ බවත් අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයා විසින් අනාවරණය කර ඇත. මෙම පාපොච්චාරණය මත පමණක් නඩුවක් ගොඩනැගීම අභියෝගාත්මක විය හැකි බැවින්, ඩග්ලස් දේවානන්දා විසින් මාකඳුරේ මධුෂ්ට ආයුධය භාර දුන් අවස්ථාවේ ඊට සාක්ෂි දැරූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රජයේ සාක්ෂිකරුවන් බවට පත් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වන විට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. දීර්ඝ විමර්ශනයක් සඳහා ඩග්ලස් දේවානන්දා දින 90 ක් රඳවා තබා ගැනීමට CID ය රජයෙන් අවසර ඉල්ලා සිටියද, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝග කර ඇත්තේ පැය 72 ක් තුළ විමර්ශන පවත්වා අවසන් කරන ලෙසයි.
කෙසේ වෙතත්, මෙම විමර්ශනවලදී ඩග්ලස් දේවානන්දාගෙන් පැරණි තොරතුරු ලබා ගැනීම CID නිලධාරීන්ට දැඩි අභියෝගයක් වනු ඇතැයි අනුමාන කෙරේ. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ 1998 වසරේ ජුනි 30 වන දින කළුතර ජාවත්ත බන්ධනාගාරයේදී එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් විසින් ඔහුට එල්ල කරන ලද ප්‍රහාරයයි. එහිදී තියුණු ආයුධයකින් ඔහුගේ හිසට එල්ල වූ පහරදීම හේතුවෙන් මොළයේ ස්නායු මධ්‍යස්ථානවලට හානි සිදුවිය. එවකට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් පැය පහමාරක ශල්‍යකර්මයක් සිදු කර ඔහුගේ දිවි බේරා ගනු ලැබූවද, එම අනතුර හේතුවෙන් ඔහුගේ මතක ශක්තියේ යම් දුබලතාවක් පවතින බව ඩග්ලස්ගේ හිතවතුන් පෙන්වා දෙයි.
තවද, 2001 වසරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඩග්ලස් දේවානන්දාට T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි 13 ක් සහ පිස්තෝල ඇතුළු කුඩා ගිනි අවි 6 ක් ලබා දී ඇති බවට ලේඛනගත සාක්ෂි පවතී. වර්තමානයේ පාතාල සාමාජිකයෙකු සතුව තිබී හමුවී ඇත්තේ ඉන් එක් ආයුධයක් පමණක් වන අතර, ඉතිරි ආයුධ තවමත් ඊ.පී.ඩී.පී සතුව පවතීද නැතහොත් වෙනත් පාර්ශව අතට පත්වීද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. පවතින පැය 72 ක රැඳවුම් කාලය අවසන් වීමෙන් පසු ඩග්ලස් දේවානන්දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.