පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර මහතා සමඟ ඇතිවූ සිද්ධියකට සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින, සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද (28) කොළොන්න පොලීසිය වෙත පැමිණියේය. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කළේ, සිය ජීවිත ආරක්ෂාව පිළිබඳව පෙරේදා (26) රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකළ ලිඛිත පැමිණිල්ලට අදාළ ප්‍රකාශයක් ලබාදීමට තමන් මෙලෙස පැමිණි බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, තමන්ට පහර දුන් සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඔවුන් නිදහසේ සිටීම තමන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක් බවත්ය.
එබැවින්, තමන් පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇති බවද එම පොලිස් කොස්තාපල්වරයා මාධ්‍යට පැවසීය. මෙම සිදුවීමට අදාළව තමන්ට මෙතෙක් සාධාරණයක් ඉටුවී නොමැති බවද ඔහු අවධාරණය කළේය.
මේ අතර, 2025 දෙසැම්බර් මස 20 වන දින කොළොන්න පොලිස් වසම තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමඟ සිදුවූ සිද්ධියකට අදාළව, සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිට දැනට වැඩ තහනමට ලක් කර ඇති පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ, ශ්‍රී ලංකා පොලීසිය විවේචනය කරමින් විවිධ මාධ්‍ය ආයතන වෙත ප්‍රකාශ ලබාදී තිබේ.
එම ප්‍රකාශ මගින් චෝදනා කර ඇත්තේ, අදාළ පොලිස් කොස්තාපල්වරයාට පහර දී යතුරුපැදිය පැහැරගෙන ගිය පුද්ගලයන් මේ වනතුරු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඔහු විසින් සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බවත්ය.
කෙසේ වෙතත්, එම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ කොළොන්න පොලීසියට ඉදිරිපත් කළ පැමිණිලි අනුව, කොළොන්න පොලිස් ස්ථානය මෙන්ම ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයද වැඩිදුර විමර්ශන පවත්වමින් සිටී.
සිද්ධිය සිදුවූ 2025 දෙසැම්බර් 20 වන දින රාත්‍රියේ, කොළොන්න පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් වහාම සිද්ධි ස්ථානයට ගොස් මූලික විමර්ශන ආරම්භ කර තිබේ. එහිදී, අදාළ පොලිස් නිලධාරියාගේ යතුරුපැදිය සිද්ධි ස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව, අදාළ නිලධාරියාගේ, ඔහුගේ බිරිඳගේ සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඇඹිලිපිටිය රෝහල් පොලීසිය මගින් නිලධාරියාට අධිකරණ වෛද්‍ය පෝරමයක්ද නිකුත් කර තිබේ.
ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරන ලද විමර්ශනවලදී, පහරදීම සිදුකළ බවට චෝදනා ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන්, සිද්ධිය වූ බව කියන ස්ථානය ආසන්නයේ පදිංචිකරුවන් තිදෙනෙකුගෙන්, මෙන්ම නිලධාරියා රෝහලට රැගෙන ගිය පුද්ගලයා ඇතුළු තවත් දස දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
සිද්ධිය වූ බව කියන ස්ථානයට ආසන්න නිවසක සවිකර තිබූ ආරක්ෂක කැමරා දර්ශන ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, එම නිවසේ හිමිකරුගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.
මෙම සිදුවීම පිළිබඳව 2025 දෙසැම්බර් 22 වන දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.