house-renters-are-fishing-in-boradi

 ආපදා තත්ත්වයන් හේතුවෙන් නිවාස අහිමි වී මේ වන විට ආරක්ෂිත කඳවුරුවල සහ ඥාති නිවාසවල තාවකාලිකව රැඳී සිටින පවුල් වෙනුවෙන් රජය විසින් රුපියල් විසිපන්දහසක මාසික කුලී දීමනාවක් ලබා දීමට තීරණය කිරීමත් සමඟ, ඇතැම් නිවාස හිමියන් අසාධාරණ ලෙස නිවාස කුලී මිල ගණන් ඉහළ නංවා ඇති බවට

අවතැන් වූ පවුල්වල සාමාජිකයෝ චෝදනා කරති. මෙම අවස්ථාවාදී ක්‍රියාකලාපය හේතුවෙන් පීඩාවට පත් ජනතාව තවදුරටත් අසීරුතාවයට පත්ව ඇති අතර, මෙම තත්ත්වය මෑතකදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද දැඩි ලෙස සාකච්ඡාවට බඳුන් විය.




විශේෂයෙන්ම මෙම අවතැන් වූ ජනතාවට නිවසක් කුලියට ගැනීමේදී නිවාස හිමියන් විසින් අවම වශයෙන් මාස තුනක හෝ අත්තිකාරම් මුදලක් ඉල්ලා සිටීම ප්‍රධාන බාධකයක් බවට පත්ව ඇති බවත්, කොත්මලේ වැනි ප්‍රදේශවල ඇතැම් පුද්ගලයන් මෙම ජාතික ව්‍යසනය තමන්ට වාසිදායක අවස්ථාවක් කරගනිමින් නිවාස කුලිය දෙගුණයකින් පමණ ඉහළ දමා ඇති බවත් එහිදී අනාවරණය වී ඇත.

මේ අතර වලපනේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, මීට පෙර රුපියල් විසිපන්දහසකට වඩා අඩු මුදලකට එම ප්‍රදේශයෙන් ලබා ගත හැකිව තිබූ නිවාස සඳහා මේ වන විට ඇතැම් පිරිස් රුපියල් තිස්පන්දහසක් පමණ මුදලක් ඉල්ලා සිටින තත්ත්වයක් උද්ගතව ඇති බවයි.




තවද 1987 වසරේ සිදුවූ නායයෑම් හේතුවෙන් වන්දි මුදල් ලබාගෙන එම ස්ථානවලින් ඉවත් වූ පිරිස් නැවතත් එම අවදානම් ස්ථානවලම පදිංචි වී යළි වන්දි ලබා ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රවණතාවක් පවතින බවත්, මෙම ගැටලුව සදාකාලිකව පවතින බැවින් එය වළක්වා ගැනීමට වත්මන් රජය නිසි පියවර නොගතහොත් මෙම අර්බුදය කිසිදා නොවිසඳෙනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.