dont-fall-for-those-who-traffic-in-the-information-of-orphaned-children

 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර සහ නායයෑම් ආපදා මධ්‍යයේ මවුපියන් අහිමි වූ දරුවන්ගේ තොරතුරු රැස්කරමින් ක්‍රියාත්මක වන කූට ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. විපතට පත් දරුවන්ට ආධාර උපකාර ලබා දෙන මුවාවෙන් මෙම ජාවාරම්කරුවන් දරුවන්ගේ දත්ත සොරාගැනීමට උත්සාහ කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂිකා (සැලසුම්/තොරතුරු) ශානිකා මලල්ගොඩ මහත්මිය ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළාය.



විශේෂයෙන්ම වට්ස්ඇප්, ෆේස්බුක් මැසෙන්ජර් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන්ගේ පෞද්ගලික තොරතුරු සහ ඡායාරූප ඉල්ලා සිටින කිසිදු පිටස්තර පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එම තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස බලධාරීන් මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.


මෙලෙස ආධාර ලබා දෙන බව පවසමින් පැමිණෙන පුද්ගලයන්ට දරුවන්ගේ තොරතුරු ලබා දීම තුළින් එම දරුවන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්විය හැකි බවත්, එය දරුවන්ගේ අනාගතයට මෙන්ම ඔවුන්ගේ ආත්මගෞරවයට ද හානිකර විය හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

යම් හෙයකින් දරුවන් පිළිබඳ තොරතුරු ලබා දිය යුතු වන්නේ නම්, එය තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට, ජාතික ළමාරක්ෂක අධිකාරියට හෝ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත පමණක් සිදු කළ යුතු බව ඇය අවධාරණය කරයි. එම රාජ්‍ය ආයතනවලින් බැහැරව කිසිදු තෙවන පාර්ශවයකට දරුවන්ගේ විස්තර ලබා දීමෙන් ඔවුන් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතී.




තවද, මවුපියන් අහිමි වූ දරුවන්ගේ භාරකාරත්වය ලබා ගැනීමට කැමති බව පවසමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන ඉදිරිපත් වුවද, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කිසිදු අයෙකුට දරුවෙකුගේ භාරකාරත්වය පැවරිය නොහැකි බව ශානිකා මලල්ගොඩ මහත්මිය පැහැදිලි කළාය. දරුවෙකුගේ භාරකාරත්වය පැවරීම අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා හෝ පරිවාස දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත පමණක් සිදුවිය යුතු ක්‍රියාවලියක් බැවින්, පිටස්තර පුද්ගලයන්ට දරුවන් බාර දීමෙන් වළකින ලෙස ඇය වැඩිහිටියන්ට උපදෙස් ලබා දුන්නාය.

මෙවැනි සැකකටයුතු පුද්ගලයන් හෝ කණ්ඩායම් ඔබගේ ප්‍රදේශයේ සැරිසරන්නේ නම් හෝ සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ තොරතුරු ඉල්ලා සිටින්නේ නම්, වහාම ජාතික ළමාරක්ෂක අධිකාරියේ 1929 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.