හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් කර්මාන්ත නැවත නඟා සිටුවීම සඳහා රජය මගින් ලබා දෙන රුපියල් ලක්ෂ දෙකක මූලික සහන මුදල මෙම සතිය තුළදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් බෙදා හැරීමට කටයුතු යොදා තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ආපදාවෙන් අඩපණ වූ නිෂ්පාදන ආර්ථිකය කඩිනමින් යළි පණ ගැන්වීම රජයේ මූලික අරමුණ බවයි.
ව්‍යාපාරික ස්ථානවලට හෝ ගොඩනැගිලිවලට සිදුව ඇති භෞතික හානි පූර්ණය කරගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක ප්රතිපාදනයක් වෙන් කිරීමට ද පියවර ගෙන ඇත.
මෙම සහන ක්‍රියාවලිය සඳහා හානි වූ ව්‍යාපාර පිළිබඳ තොරතුරු රැස්කිරීම මේ වන විටත් සිදු කෙරෙමින් පවතින අතර, දැනට ව්‍යාපාර 4,860 ක දත්ත පද්ධතියට ලැබී තිබේ. ඉන් වැඩිම තොරතුරු ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
මෙසේ වාර්තා වී ඇති ව්‍යාපාර අතර ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යාපාර 1,874 ක්, කුඩා ව්‍යාපාර 1,735 ක්, මධ්‍යම පරිමාණ ව්‍යාපාර 1,059 ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 192 ක් ඇතුළත් වේ. මින් ව්‍යාපාර 122 ක් දැනටමත් යළි ආරම්භ කර ඇති අතර තවත් ව්‍යාපාර 147 ක් මෙම සතිය තුළ ක්‍රියාත්මක කිරීමට හැකි බව දන්වා තිබේ. ආපදාවට ලක් වූ ලියාපදිංචි සෑම කර්මාන්තයකටම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස මෙම මූලික ආධාරය හිමිවනු ඇත.
අදාළ සහන ලබා ගැනීම සඳහා කර්මාන්ත හිමියන් එළඹෙන දෙසැම්බර් 16 වැනි දින පස්වරු 2.00 ට පෙර www.industry.gov.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින අදාළ නිලධාරීන් හරහා අයදුම්පත් යොමු කළ යුතුය. රක්ෂණ ආවරණ ලබා ඇති ව්‍යාපාර සඳහා එම වන්දි මුදල් කඩිනමින් ලබා ගැනීමට අමාත්‍යාංශය මැදිහත් වන බවත්, ආදායම් බදු ලිපිගොනු පවත්වාගෙන යාමේදී ආපදාව නිසා ඇති වූ ගැටලු නිරාකරණයට රජය සහාය වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval