
විදේශ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි විසිපහකට අධික මුදලක් වංචා කළ කාන්තාවක සහ ඊට අනුබල දුන් ව්‍යාපාරිකයෙකු දෙසැම්බර් මස 17 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා පසුගිය 03 වනදා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ හොරණ, ග්‍රේස්ලන්ඩ් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි මොරවකගේ පුෂ්පරාණි දිනේෂා නැමැත්තිය සහ පිළියන්දල, දාම්පේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි චාමර රවින්දු නැමැති අයෙකි. සැකකාරිය විසින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් අත්හිටුවීමට සහ එම ගිණුම් පරීක්ෂාවට ලක් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා විසින් මෙහිදී වැඩිදුරටත් නියෝග කර තිබේ.
විදෙස් රැකියා සිහිනය පෙන්වා පුද්ගලයන් වෙතින් රුපියල් ලක්ෂ 10, 12 සහ 17 ආදී වශයෙන් විවිධ මුදල් ප්‍රමාණ මොවුන් විසින් ලබාගෙන ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
මේ වන විට හොරණ මූලස්ථාන පොලිසියේ සුළු පැමිණිලි අංශය, අපරාධ අංශය සහ හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අමතරව මහරගම, කොට්ටාව, මාතර යන පොලිස් ස්ථානවලටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ කාන්තා කාර්යාංශය වෙතත් මොවුන්ට එරෙහිව පැමිණිලි ලැබී ඇති අතර තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතී.
සැකකාර කාන්තාව මීට පෙර බලපිටිය මහාධිකරණ විනිසුරුවරියක ලෙස පෙනී සිටිමින් අත්තනගල්ල අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියකගෙන් විනිසුරුවරුන්ගේ දුරකථන අංක ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද අධිකරණයේ නඩු පවතින බව හෙළි වී තිබේ. එසේම ඇය නීතිඥවරියකගේ නිල මුද්‍රාවක් සහ අත්සන ව්‍යාජ ලෙස සකසා වංචාවන් සඳහා යොදාගෙන ඇති අතර,
අදාළ නීතිඥවරිය විසින් ද සැකකාරියට එරෙහිව හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
මීට පෙර වසර දෙක බැගින් වූ අත්හිටවූ සිර දඬුවම් තුනක් නියම වී ඇති තැනැත්තියක බව කියන මෙම සැකකාරිය වෙනුවෙන් සහ අනිත් සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටි අතර, සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය සහ විශේෂ අපරාධ විමර්ශන ඒකකය නියෝජනය කරමින් පොලිස් නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval