policeman_1

 ශබ්ද විකාශන යන්ත්‍රයේ හඬ අඩු කරන ලෙස දැනුම් දුන් පොලිස් සැරයන්වරයෙකුට පහර දුන් කාන්තාවක් සහ ඇයගේ පුතෙකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පහර දීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.



මහරගම ප්‍රදේශයේ පොත් සාප්පුවක් අසල කාන්තාවක් ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් අධික ශබ්දයක් නිකුත් කරමින් ගීත ගායනා කර මුදල් එකතු කරන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) පැමිණිල්ලක් ලැබී තිබිණි. එම පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරියා, ශබ්දය අඩු කරන ලෙස කාන්තාවට උපදෙස් දී ඇති අතර එහිදී ඇය නිලධාරියාට පරුෂ වචනයෙන් බැන වදිමින් ඔහුගේ නිල ඇඳුමෙන් ඇද කරදර කර ඇති බව පොලිසිය පවසයි.




අනතුරුව පොලිස් නිලධාරියා පදික මාරුව දෙසට ගමන් කරමින් සිටියදී අදාළ කාන්තාව සහ ඇයගේ පුතා යැයි පැවසෙන පුද්ගලයා එක්ව නිලධාරියාට පහර දී තුවාල සිදු කර ඇත. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මහරගම පොලිසියට අනුයුක්තව රාජකාරි කළ (56124) ශාන්ත නැමැති පොලිස් සැරයන්වරයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව 58 හැවිරිදි වියේ පසුවන කොට්ටාව, රුක්මලේ පාරේ පදිංචිකාරියක වන අතර, 27 හැවිරිදි සැකකාර පුද්ගලයා හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.