ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ස්විට්සර්ලන්තයේ ලුසෑන්හි පිහිටි ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන්නට කටයුතු කර තිබේ. තම කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර අසාධාරණ ලෙස ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් සිදුවූ මූල්‍යමය පාඩුව සහ කීර්තිනාමයට වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම අරමුණු කරගනිමින් හතුරුසිංහ මහතා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිවේදීන් කණ්ඩායම විසින් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංස්ථාගත ආයතනයක් (Incorporated Body) නොවන බවයි. ක්‍රිකට් ආයතනය සංස්ථාගත ආයතනයක් නොවන පසුබිමක ඊට එරෙහිව මෙවැනි නඩුවක් ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය හමුවේ පවත්වාගෙන යාමට නීතිමය හැකියාවක් නොමැති බව ඔවුන්ගේ තර්කය වී ඇත.
මෙම නීතිමය කරුණු දැක්වීම හමුවේ හතුරුසිංහ මහතාට සිය නඩුව මින් ඉහත ඉල්ලා අස්කර ගෙන තිබුණත් නැවත වෙනස් ආකාරයකින් ගොනුකර තිබේ.
චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටි වන්දි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 5ක් බව මීට පෙර වාර්තා වී තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළ පරිදි, හතුරුසිංහ මහතා ලිපියක් මගින් මෙම වන්දි ඉල්ලීම සිදු කර ඇත්තේ තම කොන්ත්‍රාත්තුවේ ඉතිරිව තිබූ මාස 18ක කාලය සඳහා හිමිවිය යුතු සම්පූර්ණ වැටුප සහ වැරදි ලෙස සේවයෙන් පහ කිරීම නිසා ජාත්‍යන්තර පුහුණුකරුවෙකු ලෙස තම වෘත්තීය ප්‍රතිරූපයට සිදුවූ හානිය සැලකිල්ලට ගනිමිනි. ඉතිරි කාලය සඳහා වැටුප පමණක් ඩොලර් මිලියනය ඉක්මවන බව සඳහන් වේ.
පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හයවැනි ස්ථානයට පත්වීමෙන් අනතුරුව හතුරුසිංහ මහතා සහ ඔහුගේ සහායක කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළේය. එවකට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා චෝදනා කළේ ප්‍රතිඵල ලබා දීමට අපොහොසත් වූ හතුරුසිංහ මහතාට මසකට ඩොලර් 60,000ක් වැනි අධික වැටුපක් ගෙවන බවත්, එම මුදලින් අඩකට විදේශීය පුහුණුකරුවෙකු බඳවා ගත හැකිව තිබූ බවත්ය.
කෙසේ වෙතත්, සේවයෙන් පහ කරන විට ක්‍රිකට් ආයතනය විසින් වන්දි ලෙස ගෙවීමට එකඟ වී ඇත්තේ මාස හයක වැටුපක් පමණක් බව අයිලන්ඩ් පුවත්පත වාර්තා කර තිබුණි.
මේ අතර, හතුරුසිංහ මහතා විසින් ගොනු කළ මෙම නඩුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් මිලියන 20ක පමණ මුදලක් නඩු ගාස්තු ලෙස වැය කිරීමට සිදුව ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. ක්‍රිකට් ආයතනයට සිදුවූ එම මූල්‍යමය අලාභය පියවා ගැනීම සඳහා හතුරුසිංහ මහතාගෙන් අදාළ නඩු ගාස්තු අය කරගැනීමට වෙනම නඩුවක් පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවද වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval