body-of-netuki-who-disappeared-in-landslide-found
 යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙරන්නාව, තැන්නවත්ත ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් මස 27 වන දින සිදු වූ කඳු නායයෑමේ සිද්ධියෙන් අතුරුදන්ව සිටි කුඩා දැරියකගේ සිරුර ඊයේ (14) දහවල් සොයාගෙන තිබේ. මෙලෙස මළ සිරුර හමුවී ඇත්තේ බෙරන්නාව මහා විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි හත් හැවිරිදි වියේ පසු වූ නෙතුකි සහන්යා නම් දැරියගේ ය.

තැන්නවත්ත ප්‍රදේශයේ සිට පතනේගල දෙසට දිවෙන මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් සිටින අතරතුර එම ස්ථානය ආසන්නයේ සුනඛයෙකු රැඳී සිටිනු දැක ඒ පිළිබඳව විමසිලිමත් වීමේ දී මෙම සිරුර හමුවී ඇත.


එම ස්ථානයේ සිටි පිරිස විසින් සිදු කළ වැඩිදුර සොයා බැලීමේ දී කිතුල් ගසක අතු පතරට යටවී තිබිය දී දැරියගේ දේහය හමුවූ බව යටියන්තොට පොලීසිය තහවුරු කරයි.

පසුගිය 27 වන දින පස්වරු කාලයේ සිදු වූ මෙම අවාසනාවන්ත නායයෑමේ සිද්ධියෙන් අදාළ දැරියගේ මව, පියා, බාල සොහොයුරා සහ මිත්තණිය යන පවුලේ සාමාජිකයින් සියලු දෙනා පස් කන්දට යටවී තිබුණි. මෙම අනතුර සිදුවී දින දෙකකට පසුව දැරියගේ මවගේ සිරුර සොයා ගැනීමට හැකි වූ අතර පියා, සහෝදරයා සහ මිත්තණියගේ සිරුරු මේ වන තෙක් හමුවී නොමැත.

සිද්ධිය වූ ස්ථානයෙන් ගොඩගන්නා ලද දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මේ වන විට කරුවනැල්ල රෝහල වෙත රැගෙන ගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.


gossiplanka image 2