දිවයින පුරා පවතින මාර්ගවල තත්ත්වය පිළිබඳ තොරතුරු සෘජුවම බලධාරීන් වෙත දැනුම් දීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නව ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ඩිජිටල් කාර්ය සාධක බලකාය එක්ව නිර්මාණය කර ඇති මෙම නව වෙබ් අඩවිය හරහා මහජනතාවට මාර්ග අවහිරතා, මාර්ගවලට සිදුව ඇති හානි, හදිසි අනතුරු සහ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන ස්ථාන පිළිබඳ තොරතුරු කඩිනමින් වාර්තා කිරීමට අවස්ථාව උදා වේ.
වර්තමානයේ රට තුළ බහුලව භාවිත වන මාර්ග උපදේශන මෘදුකාංග (Navigation Apps) මගින් මාර්ගවල සිදුවන ඇතැම් හදිසි සිදුවීම් පිළිබඳ ක්‍රමානුකූල සහ යාවත්කාලීන තොරතුරු (Real-time updates) ලබා දීමේදී සැලකිය යුතු අඩුපාඩුවක් පවතින බව නිරීක්ෂණය වී ඇති අතර, එම හිඩැස පිරවීම මෙම නව වැඩපිළිවෙළේ මූලික අරමුණ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පෙන්වා දෙයි. ඒ අනුව, https://road-lk.org වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් පුරවැසියන්ට මෙම සේවාව ලබා ගත හැකි අතර එමගින් වඩාත් නිවැරදි සහ කාර්යක්ෂම මාර්ග තොරතුරු ජාලයක් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතියේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම රඳා පවතින්නේ මාර්ග භාවිතා කරන්නන් විසින් ලබා දෙනු ලබන තොරතුරු මත වන අතර
සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් පැමිණිලි ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා ඇත. https://road-lk.org/report ඔස්සේ අදාළ ස්ථානයේ ඡායාරූප ද සහිතව මෙම වාර්තා ඉදිරිපත් කළ හැකි නම් එය වඩාත් ඵලදායී වනු ඇත. එසේ මහජනතාව විසින් යොමු කරනු ලබන තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව, එම ස්ථාන ජාතික මාර්ග සිතියමේ නිල වශයෙන් සලකුණු කිරීමට පියවර ගනු ලබයි.
මෑත කාලීනව ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් මාර්ග පද්ධතියට සිදුවූ පුළුල් හානි පිළිබඳ දත්ත රැස් කිරීමේ අවශ්‍යතාව මත මෙම ක්‍රමවේදය මූලිකව සකස් කරනු ලැබුව ද, මෙය දීර්ඝකාලීන භාවිතය සඳහා නිර්මාණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. මේ වන විට පළාත් මාර්ග සංවර්ධන අධිකාරිවලට ද මෙම පද්ධතිය යාවත්කාලීන කිරීමේ බලය ලබා දී ඇති අතර,
ඉදිරියේදී රථවාහන පොලිසියට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ද මාර්ග ගැටලු පද්ධතියට ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දීමට සැලසුම් කර තිබේ.
දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස සති කිහිපයක් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, ජාතික සහ පළාත් මාර්ග පද්ධති ආවරණය වන පරිදි සාර්ථකව ස්ථාපිත කිරීමෙන් පසුව ග්‍රාමීය මාර්ග සඳහා ද ව්‍යාප්ත කිරීමට නියමිතය. මෙම නව ඩිජිටල් වේදිකාව ස්ථිර සේවාවක් බවට පත් කිරීමට පෙර එහි සාර්ථකත්වය තහවුරු කර ගැනීම සඳහා සක්‍රීයව දායක වන ලෙසත්, මාර්ග ගැටලු පිළිබඳ තොරතුරු වාර්තා කරන ලෙසත් අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval