chief-justice-advises-to-consider-adverse-weather-conditions-in-court-orders

 දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, නඩු කටයුතු සඳහා සහභාගී වීමට නොහැකි වන පාර්ශවයන්ට අගතියක් හෝ අහිතකර බලපෑමක් සිදුවන ආකාරයේ නියෝග නිකුත් කිරීමෙන් හැකිතාක් දුරට වැළකී සිටින ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම විනිසුරුවරුන් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ උපදෙස් පරිදි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් පසුගිය 30 වැනිදා මෙම දැනුම් දීම සිදු කර ඇති අතර,


ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණය ඇතුළු සියලුම විනිසුරුවරුන් මෙන්ම නීතිපතිවරයා ද මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, බොහෝ නිවාස සහ දේපළ ජලයෙන් යටවීම හේතුවෙන් මහජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවත්, ඇතැම් ප්‍රදේශවල ජීවිත හානි පවා වාර්තා වී ඇති බවත් කොමිෂන් සභාව පෙන්වා දෙයි. එසේම සමහර අධිකරණ ගොඩනැගිලි සහ මාර්ග ජලයෙන් යටවීම නිසා නීතිඥවරුන්ට, පොලිස් නිලධාරීන්ට, අධිකරණ කාර්ය මණ්ඩලයට සහ මහජනතාවට ගමනාගමන පහසුකම් සලසා ගැනීමේ බරපතල ගැටලු මතුව ඇති බැවින්, දෙසැම්බර් 01 වැනිදා සිට ආරම්භ වූ මෙම සතිය තුළ කලින් යොදාගත් නඩු කටයුතු සඳහා සහභාගී වීමේ අවිනිශ්චිතතාවයක් මතුව ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් අධිකරණයට පැමිණීමට නොහැකි වන පාර්ශවයන් වෙත අහිතකර වන අන්දමේ නියෝග ලබා දීමෙන් වැළකී නම්‍යශීලීව කටයුතු කරන ලෙස සියලු විනිසුරුවරුන්ට දන්වා ඇති අධිකරණ සේවා කොමිෂන් සභාව, අදාළ ප්‍රදේශවල පවතින බිම් මට්ටමේ තත්ත්වය නිසි ලෙස තක්සේරු කිරීමෙන් අනතුරුව සාමාන්‍ය පරිදි අධිකරණ කටයුතු යළි ආරම්භ කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ද වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.