gibbon-monkey-that-lived-at-dehiwala-zoo-for-22-years-dies

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක වසර ගණනාවක් වාසය කළ, සුදු අත් සහිත ගිබන් විශේෂයට අයත් වඳුරෙකු පසුගිය 18 වැනි දින මියගොස් තිබේ. මියයන විට වයස අවුරුදු 22ක් පමණ වූ මෙම සත්වයාගේ මරණය, සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්, පශුවෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා විසින් තහවුරු කරන ලදී.




මෙම ගිබන් වඳුරා 2006 වසරේදී ජාත්‍යන්තර සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ, චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා සත්වෝද්‍යානයෙන් ශ්‍රී ලංකාවට ගෙන එන ලද ගිබන් යුවළෙන් එකෙකි. වසර ගණනාවක් ඔවුන් දෙදෙනා එකට දිවි ගෙවූ අතර, මීට වසර එකහමාරකට පමණ පෙර එහි සහකාරිය මියයාමෙන් පසු මෙම ගිබන් වඳුරා සිය කූඩුව තුළ හුදකලාව වාසය කර ඇත.

සත්ව විද්‍යාත්මක දත්ත අනුව, මෙම වර්ගයේ ගිබන් සතෙකුගේ ස්වභාවික උපරිම ආයු කාලය වසර 25ක් පමණ වේ. ඒ අනුව, වයස අවුරුදු 22ක් වූ මෙම සත්වයා සිය උපරිම ආයු කාලයට ආසන්නව, මහලු වියේදී මෙලෙස මියගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිය.




පසුගිය 17 වැනි දින මෙම ගිබන් වඳුරා රෝගාතුර වී ඇති බවට නිරීක්ෂණය වීමත් සමගම, සත්වෝද්‍යාන පශු වෛද්‍ය කණ්ඩායම වහාම අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබේ. එහෙත්, වෛද්‍යවරුන්ගේ උත්සාහය සාර්ථක නොවී පසුදින සත්වයා මියගොස් ඇත. මරණයට හේතුව නිශ්චිතව හඳුනාගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර ඇති නමුත්, එහි වාර්තා මෙතෙක් ලැබී නොමැති බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.

news-2025-12-22-061755