ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයකු රුපියල් දෙලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ලබන ජනවාරි මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.
ජා-ඇල, දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරන ලද වැටලීමකදී මෙම සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
සොරකම් කරන ලද රන් භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර නොගැනීම සඳහා සැකකාර ස්ථානාධිපතිවරයා රුපියල් තුන්ලක්ෂයක මුදලක් සහ රන් පවුම් කාල තුනක ප්‍රමාණයක් අල්ලස් ලෙස ඉල්ලා තිබිණි. එම මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක් ලබා ගනිමින් සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්විය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු වරුෂවිතාන මහතා හමුවට අද දින සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේදී, අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බවයි. ඒ අනුව, වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහුව ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, ඔහුගේ දරුවන් දෙදෙනා මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පෙනී සිටීමට නියමිතව ඇති බවයි. කෙසේ වෙතත්, ඇප ඉල්ලීම ඉදිරි දිනයකදී ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් දැනුම් දුන්නේය.