නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ හඳුන්වා දීමට නියමිතව තිබූ හයවන ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයක පාසල් දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීමේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මෙම සිදුවීම හුදෙක් තාක්ෂණික දෝෂයක් ද එසේත් නොමැති නම් රජයේ නව අධ්‍යාපන වැඩපිළිවෙළ අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ලේකම්වරයා සඳහන් කළේය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළ ලේකම්වරයා අවධාරණය කර සිටියේ අදාළ ඉංග්‍රීසි මොඩියුලයේ කිසිසේත්ම ඇතුළත් නොවිය යුතු මට්ටමේ වෙබ් අඩවි නාමයක් ඇතුළත් වී ඇති බව අමාත්‍යාංශය මගින් සිදු කළ මූලික අභ්‍යන්තර පරීක්ෂණයේදී මේ වන විටත් තහවුරු වී ඇති බවයි.මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ බවත්, එය කිසිසේත්ම පාසල් විෂය නිර්දේශයක් තුළ සිදු නොවිය යුත්තක් බවත් පෙන්වා දුන් ලේකම්වරයා ඒ පිළිබඳව මේ වන විටත් නිල නිවේදනයක් නිකුත් කර ඇති බව සිහිපත් කළේය. කෙසේ වෙතත් මෙම දෝෂය හුදු අත්වැරදීමකින් සිදු වූවක් බවට නිගමනය කිරීමට වඩා, ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමාජය හමුවේ අපකීර්තියට පත් කිරීම සඳහා යම් පාර්ශ්වයක් විසින් සිදු කළ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් දැයි තමන්ට සාධාරණ සැකයක් පවතින බව ලේකම්වරයා මෙහිදී දැඩිව අවධාරණය කළේය. පසුගිය කාලසීමාව පුරාවටම විවිධ පාර්ශ්වයන් විසින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉලක්ක කර ගනිමින් විවිධ පදනම් විරහිත චෝදනා එල්ල කළ බවත්, එම චෝදනා ප්‍රායෝගිකව සනාථ කිරීම සඳහා යම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් මෙය සිතාමතා සිදු කළේද යන්න පිළිබඳව ගැඹුරින් සොයා බැලිය යුතු බවත් ඔහු පවසා සිටියේය.
පාසල් දරුවන් සඳහා විෂය නිර්දේශ සහ මොඩියුල සම්පාදනය කිරීම දීර්ඝ සහ සංකීර්ණ ක්‍රියාවලියක් බව පෙන්වා දුන් නාලක කළුවැව මහතා, මොඩියුල සම්පාදනය කිරීම, ඒවා පරීක්ෂා කිරීම, සංස්කරණය කිරීම සහ අවසන් මුද්‍රණය දක්වා පියවර ගණනාවක් ඔස්සේ මෙම ක්‍රියාවලිය සිදු වන බව පැහැදිලි කළේය. එසේ තිබියදී එම සියලු ආරක්ෂක පියවරයන් සහ පරීක්ෂාවන් මඟහැරී මෙවැනි බරපතල දෝෂයක් සහිතව මෙම ලේඛනය අවසාන මුද්‍රණය දක්වා පැමිණීම පිළිබඳව තමන් තුළ බලවත් සැකයක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. විෂය නිර්දේශ සහ මොඩියුල සකස් කිරීමේ මූලික වගකීම ජාතික අධ්‍යාපන ආයතනය සතු වන අතර, එහිදී යම් අතපසුවීමක් හෝ වරදක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් දැනටමත් ක්‍රියාත්මක වන බව ලේකම්වරයා තහවුරු කළේය. එහෙත් අමාත්‍යාංශයේ පරිපාලන සීමාවෙන් ඔබ්බට ගිය යම් බාහිර බලපෑමක් හෝ දේශපාලනික අරමුණක් සහිත කඩාකප්පල්කාරී ක්‍රියාවක් මෙහි පිටුපස තිබේදැයි විද්‍යාත්මකව සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඉල්ලා සිටි බව ඔහු සඳහන් කළේය.
මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ මොඩියුල 106ක් පමණ මුද්‍රණය කර ඇති බවත්, ඒ සඳහා විද්වතුන් ඇතුළු විශාල කණ්ඩායමක් දායකත්වය ලබා දී ඇති බවත් වාර්තා වේ. මෙම මොඩියුල බොහොමයක් 2024 වසරට පෙර ලියැවුණු ඒවා වුවද, 2025 වර්ෂය සඳහා නැවත සංස්කරණය කර අලුතින් කොටස් එක් කිරීමේදී මෙම දෝෂ සහගත කොටස ඇතුළත් වී ඇති බව පෙනී යයි. මෙම ගැටලුකාරී වෙබ් අඩවි නාමය හඳුනාගත හැක්කේ ඒ පිළිබඳ තාක්ෂණික දැනුමක් ඇති අයෙකුට පමණක් බවත්, අවසාන මුද්‍රණයට පෙර සිදු කළ අහඹු පරීක්ෂාවලදී මෙය අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් ලේකම්වරයා පවසා සිටියේය. සිදුවූ වරද වසන් කිරීමට කටයුතු නොකරන බවත්, පසුගිය අගෝස්තු මාසයේ සිට ගුරු පුහුණු කටයුතු සඳහා භාවිත කර ඇති මෙම මොඩියුලවල පවතින දෝෂ නිවැරදි කිරීමට වහාම පියවර ගන්නා බවත් ඔහු සහතික විය.
මෙම ආන්දෝලනයට තුඩු දී ඇති "Buddy.net" නැමැති වෙබ් අඩවිය අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන සුවිශේෂී සමාජ ජාල වේදිකාවක් ලෙස හඳුනාගෙන තිබේ. එය මූලික වශයෙන් සමලිංගික පිරිමි පාර්ශවය ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇති අතර, විවිධ රුචිකත්වයන් සහ ජීවන රටාවන් සහිත පුද්ගලයින් එකිනෙකා හා සම්බන්ධ කිරීම එහි මූලික අරමුණ වී ඇත. පරිශීලකයින්ට තම අදහස් හුවමාරු කර ගැනීමටත්, නව මිතුරන් හඳුනා ගැනීමටත් අවශ්‍ය පහසුකම් සපයන විවෘත ඩිජිටල් අවකාශයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, අනෙකුත් සමාජ ජාලවල මෙන් නොව බාධාකාරී වෙළඳ දැන්වීම්වලින් තොරව නිදහස් පරිශීලක අත්දැකීමක් ලබා දීමට එහි නිර්මාණකරුවන් කටයුතු කර ඇත. පරිශීලකයින්ගේ ඡායාරූප සහ වීඩියෝ හුවමාරු කර ගැනීමටත්, තමන් අවට සිදුවන විවිධ සමාජීය උත්සව සහ හමුවීම් පිළිබඳ තොරතුරු සොයා ගැනීමටත් මෙමගින් අවස්ථාව ලැබේ. වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් සඳහා පමණක් සීමා වී ඇති මෙම වෙබ් අඩවිය ජංගම දුරකථන යෙදුමක් ලෙසද භාවිත කළ හැකි අතර, මෙය කිසිසේත්ම පාසල් දරුවන්ට නිර්දේශ කළ හැකි වෙබ් අඩවියක් නොවන බව පැහැදිලිය.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වන විද්වතුන් පෙන්වා දෙන්නේ පාසල් පෙළපොතේ සඳහන් කිරීමට උත්සාහ කර ඇත්තේ "ebuddy.net" නැමැති පණිවිඩ හුවමාරු කර ගැනීමේ සේවාව විය හැකි බවයි. Ebuddy.net යනු ක්ෂණික පණිවිඩ හුවමාරු කර ගැනීම (Instant Messaging) සඳහා අතීතයේ භාවිතා වූ සේවාවක් වන අතර, Buddy.net යනු ඉහත සඳහන් කළ පරිදි ආලය කිරීමේ (Dating) අරමුණු සඳහා භාවිතා වන වේදිකාවකි. පොතෙහි සඳහන් සන්දර්භය අනුව පණිවිඩ හුවමාරු කර ගැනීමේ සේවාවක් ගැන සඳහන් කිරීමට අවශ්‍ය වූ බව පෙනී ගියද, යතුරු ලියනය කිරීමේදී සිදුවූ දෝෂයක් හෝ දැඩි නොසැලකිලිමත්කම හේතුවෙන් 'e' අකුර හැලී යාමෙන් මෙම බරපතල අර්ථය ගෙන දෙන වෙබ් අඩවි නාමය මුද්‍රණය වී ඇති බව අනුමාන කෙරේ. මෙය හුදෙක් අත්වැරදීමක් වුවද, දරුවෙකු කුඩා කල ඉගෙන ගන්නා දේ ඔවුනගේ ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරන බැවින් පාසල් පොත් සකස් කිරීමේදී සාමාන්‍ය සැලකිල්ලට වඩා ඉහළ වගකීමක් දැරිය යුතු බව සමාජ මතය වී තිබේ. අනෙක් අතට, අද වන විට බහුලව භාවිත නොවන "ebuddy.net" වැනි යල් පැන ගිය තාක්ෂණික මෙවලම් නූතන දරුවන්ට ඉගැන්වීමේ ඵලදායීතාවය පිළිබඳවද විවිධ පාර්ශ්ව ප්‍රශ්න කරමින් සිටී.
මේ අතර මෙම සිදුවීම මුල් කරගනිමින් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කටයුතු කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මෙය හුදෙක් අත්වැරදීමක් නොව රටේ සංස්කෘතිය සහ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් බවයි. "ඔයා ඕන බඩියක් තියාගන්න, අපි ඒවට මුකුත් කියන්නේ නැහැ. නමුත් මේ අපේ දරුවන්ට සමලිංගික බඩියෝ හොයලා දෙන්න එපා" යැයි පවසමින් මන්ත්‍රීවරයා දැඩි ආවේගශීලීව අදහස් දැක්වීය. ඔහු චෝදනා කරන්නේ උසස් පෙළ සමත් දරුවන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය පුළුල් කිරීම වැනි ප්‍රමුඛ අවශ්‍යතා පසෙක ලා, බර අඩු කිරීමේ මුවාවෙන් දරුවන්ගේ සංස්කෘතික පදනම විනාශ කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. පොත් බෑග් එකේ බර අඩු කිරීම යනු දරුවාගේ මනසට දැනෙන සංස්කෘතික බර ඉවත් කිරීම නොවන බවත්, බටහිර රටවල් පවා ප්‍රතික්ෂේප කළ ආකෘති ලංකාවේ දරුවන්ගේ මනසට ඇතුළු කරමින් රට 'හයිටියක්' බවට පත් කිරීමට උත්සාහ කරන බවත් ඔහු චෝදනා කළේය.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉලක්ක කර ගනිමින් විවේචන එල්ල කළ වීරවංශ මහතා, ජනාධිපතිවරයාගේ විධායක බලතල භාවිතා කරමින් අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබා දී ඇත්තේ තමන්ට විශ්වාසවන්ත සහ තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි අයෙකුට බව සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය මෙනවිය ගෙන එන නිරාගමික සහ සංස්කෘතියට පටහැනි ප්‍රතිසංස්කරණ දරුවන්ට මර උගුලක් වී ඇති බව ඔහු පැවසීය. පාසල් දරුවන්ට මිත්‍ර සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා උදාහරණ ලෙස මෙවැනි අκαැප වෙබ් අඩවි හඳුන්වා දීම අහඹුවක් නොවන බවත්, එය ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවත් මන්ත්‍රීවරයා තර්ක කළේය. ආණ්ඩුව ආපදා අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර දැක්වීමට වඩා වේගයෙන් මෙම වෙබ් අඩවිය අවහිර කිරීමට කටයුතු කළ බවත්, එමගින් ඔවුන්ගේ වරද පිළිගැනීමක් සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
අධ්‍යාපන අමාත්‍යාංශය මෙය වෙනත් පාර්ශ්වයක කුමන්ත්‍රණයක් ලෙස හුවා දැක්වීමට දරන උත්සාහය ද විමල් වීරවංශ මහතාගේ දැඩි උපහාසයට ලක් විය. "තොත්ත බබා පාර්ට් දාලා කියනවා මගේ අමුඩේ වෙන කවුරු හරි කැත කරලා කියලා. උන්දලාගේ අමුඩ කැත කරන්නේ වෙන කට්ටිය නෙවෙයි," යනුවෙන් පවසමින් ඔහු කියා සිටියේ මෙම සිදුවීම් මාලාව ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන සංකල්පය තුළ සැඟවී තිබූ සැබෑ අරමුණු එළියට පැමිණීමක් බවයි. මැතිවරණ සමයේ ගෙයින් ගෙට බෙදූ පත්‍රිකාවල මේවා සඳහන් නොවුණ ද, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම කරුණු අන්තර්ගත වී තිබූ බවත්, එය කියවූයේ සුළු පිරිසක් පමණක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙම සිදුවීම හරහා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන ප්‍රතිසංස්කරණ සහ පාසල් පෙළපොත් සම්පාදන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය පිළිබඳව පුළුල් සමාජ කථිකාවතක් නිර්මාණය වී තිබේ.