
මහවැලි ගඟ පිටාර ගැලීම සහ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දැඩි අලාභහානි සිදු වූ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තවත් සති දෙකක පමණ කාලයකින් නැවත විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.
දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා උද්‍යානය නැවත සුදුසු මට්ටමට සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව පේරාදෙණිය උද්භිද උද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රුවිනි ගෝමස් මහත්මිය සඳහන් කළාය.ඇති වූ මෙම ස්වභාවික විපත හේතුවෙන් උද්‍යානයේ මව් ශාක, රෝපිත ශාක සහ පැළ තවාන් ඇතුළු අංශ රැසකට දැඩි හානි සිදුව ඇති අතර, රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් ආදර්ශ පටක රෝපණ විද්‍යාගාරය සහ එහි උපකරණ නැවත භාවිත කළ නොහැකි ලෙස විනාශ වී ඇති බව නිරීක්ෂණය වේ.
උද්‍යානයේ හදවත බඳු උඩවැඩියා ප්‍රදර්ශන සහ අලෙවි අංශවලට පැළ සපයන තවාන් හි පැළ 12,500ක් පමණ නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි ලෙස විනාශ වීමේ අවදානමක පවතින බව උඩවැඩියා අංශ භාර නිලධාරිනී ඉරෝෂණී ආන්ද්‍රාදි මෙනවිය පැවසුවාය. කෙසේ වෙතත්, දිවා රාත්‍රී නොබලා මෙම ශාක බේරා ගැනීමට කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එක්ව දැඩි පරිශ්‍රමයක් දරන බව පටක රෝපණ විද්‍යාගාර අංශයේ පර්යේෂණ නිලධාරී විජිත වනිගසූරිය මහතා අවධාරණය කළේය. ගංවතුර බැස ගියද උද්‍යානය පුරා තැන්පත් වී ඇති රොන් මඩ ඉවත් කිරීම ප්‍රධාන අභියෝගයක් වී ඇති අතර,
කුඩා විසිතුරු පැළ හා ශාක මත රැඳී ඇති මඩ ඉවත් කිරීම සේවකයන් විසින් භාවනාවක ස්වරූපයෙන් ඉතා සංයමයෙන් සිදු කරන ආකාරය දැකගත හැකිය.
මහවැලි ගඟ ආශ්‍රිත මාර්ග පද්ධතිවල සමහර ස්ථානවල අඩි දෙක තුනක් පමණ උසට රොන් මඩ තැන්පත් වී ඇති අතර, අනාගතයේ පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා ඉවත් කිරීම මේ වන විට අවදානම් මැද සිදු කෙරේ. උද්‍යානයේ ප්‍රකට වැල් පාලමට ද හානි සිදුව ඇති අතර, උද්‍යානයේ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණවලින් අනතුරුව එය අලුත්වැඩියා කිරීමට පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.
උද්භිද උද්‍යානය දිශා තුනකින් මහවැලි ගඟෙන් ආවරණය වී තිබීම නිසා ගංවතුර බලපෑම දැඩිව එල්ල වූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව පෙන්වා දුන්නාය. මෙය යථා තත්ත්වයට පත් කිරීම සඳහා උද්‍යාන කාර්ය මණ්ඩලයට අමතරව පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය දැව සංස්ථාව, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ දකුණු පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලධාරීන් සහ සේවක පිරිසක් ද සහාය ලබා දෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval