
ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභාවක් නියෝජනය කරනු ලබන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක් විසින් ආපදාවට ලක්වූවන් වෙනුවෙන් බෙදා දුන් බත් පැකට් තොගයක් මත ඇයගේ නම සහ දුරකථන අංකය සටහන්ව තිබීමේ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලබාදුන් මෙම දිවා ආහාර පාර්සල්වල ඇයගේ නම, දරන මන්ත්‍රී ධුරය සහ ජංගම දුරකථන අංකය පැහැදිලිව සටහන් කර තිබූ බව වාර්තා වේ.
මන්ත්‍රීවරියගේ විස්තර සටහන් කළ බත් පැකට්වල ඡායාරූප මෙන්ම ඊට අදාළ දුරකථන සංවාද ඇතුළත් වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් පවතී. අදාළ දුරකථන අංකය ඔස්සේ මන්ත්‍රීවරිය ඇමතූ පුද්ගලයෙකු එම බත් ඉතා රසවත් බවත් ඊට ස්තූති කිරීමට කතා කළ බවත් පවසන අයුරු එම හඬ පටවල අඩංගුය.
තවත් පුද්ගලයෙකු ඇය අමතා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ලැබුණු බත් පැකට්ටුවේ තිබුණේ බත් පමණක් බවත්, ව්‍යංජන කිසිවක් නොතිබූ බැවින් එම ව්‍යංජන රැගෙන යාමට තමන් පැමිණිය යුතු දැයි විමසන ආකාරයත්ය.
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන එම හඬ පටවලට අනුව අදාළ මන්ත්‍රීවරිය ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ තමන් මෙම බත් පැකට් බෙදා දීම සිදු කළ බැවින් තම ආධාරකරුවෙකු විසින් නම, තනතුර සහ දුරකථන අංකය එහි සටහන් කරන්නට ඇති බවයි. එමෙන්ම තමන්ව විහිළුවට ලක් කිරීමට (බයිට් එකට ගැනීමට) උත්සාහ කරන්නේ දැයි ඇය අදාළ ඇමතුම් ලබා දුන් පාර්ශවයන්ගෙන් ආපසු ප්‍රශ්න කරන අයුරු ද එම සංවාද තුළ සටහන්ව ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ද තහවුරු කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභා මන්ත්‍රීවරියක් විසින් තමන්ගේ නම සහ දුරකථන අංකය සඳහන් කරමින් ආපදා සහන ලෙස බත් පැකට් බෙදා දීමක් සිදු කර ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval