මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අතිවිශාල දේපළ හානියක් සිදුව ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 300ක් පමණ වන බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ප්‍රකාශ කරයි. ගංවතුර හේතුවෙන් විශ්වවිද්‍යාලයේ පරිගණක පද්ධති, විද්‍යුත් උපකරණ, පර්යේෂණ දත්ත ඇතුළත් උපකරණ මෙන්ම වටිනා ගෘහ භාණ්ඩ රැසක් විනාශ වී ඇති බව උපකුලපතිවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම කළමනාකරණ පීඨය, කෘෂිකර්ම පීඨය සහ පශු වෛද්‍ය පීඨය යන අංශවලට මෙම ආපදා තත්ත්වය දැඩි ලෙස බලපා ඇති අතර, එම පීඨවල තිබූ කෝටි ගණනක් වටිනා පර්යේෂණ උපකරණ සහ විද්‍යුත් උපාංග විනාශ වී තිබේ. විශ්වවිද්‍යාල පරිගණක මධ්‍යස්ථානයට පමණක් සිදුව ඇති අලාභය රුපියල් කෝටි 6කට ආසන්න බවත්, මීට අමතරව නඩත්තු ඒකකයේ විදුලි උපකරණ, ක්‍රීඩා භාණ්ඩ සහ විශාල ප්ලාස්ටික් ජල ටැංකි රැසක් ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවත් උපකුලපතිවරයා සඳහන් කළේය.
සිදුව ඇති සම්පූර්ණ අලාභය තක්සේරු කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින අතර, මෙම විනාශයෙන් පසු විශ්වවිද්‍යාලය යළි යථා තත්ත්වයට පත් කිරීම විශාල අභියෝගයක් වී ඇති බව මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා අවධාරණය කළේය. කෙසේ වෙතත්, මේ වන විට විශ්වවිද්‍යාල භූමියේ පිරී ඇති මඩ තට්ටු සහ අපද්‍රව්‍ය ඉවත් කරමින් පවිත්‍රතා කටයුතු කඩිනමින් සිදුකරන බවත්, ලබන සතිය වන විට නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval