businessman-swept-away-in-kelani-river-goes-missing

 කැලණි ගඟේ සැඩපහරට හසුව ගසාගෙන යාමෙන් පුද්ගලයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් පසුගිය 29 වැනිදා වාර්තා වී ඇති බව හංවැල්ල පොලිසිය සඳහන් කරයි.



මෙලෙස අතුරුදන්ව ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි චාමර ක්‍රිෂාන්ත නැමැති 31 හැවිරිදි දෙදරු පියෙකු වන අතර මොහු හංවැල්ල නගරයේ ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටි අයෙකි.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ගංවතුර තත්ත්වයක් හටගත් අවස්ථාවේදී, ආපදාවට ලක් වූ පිරිස් බේරා ගැනීම සඳහා හංවැල්ල පොලිසියේ නිලධාරීන් විසින් මෝටර් බෝට්ටු යොදා ගනිමින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි. එහිදී මෙම පුද්ගලයා තම නිවසේ ඉහළ මාලයට වී රැඳී සිට ඇති අතර, පොලිස් නිලධාරීන් ඔහුව ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට උත්සාහ කළද ඔහු එම අවස්ථාවේදී නිවසින් ඉවත්වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.




පසුව ගඟේ සැඩපහර දරුණු වීමත් සමඟ නිවසේ තිබූ ගෑස් සිලින්ඩරයක් ජලයට ගසාගෙන යාමට පටන්ගෙන ඇති අතර, එය අල්ලා ගැනීමට යාමේදී මොහු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.

කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම සහ ප්‍රදේශයේ පවතින ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයා ගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.