chinese-gang-caught-emptying-online-bank-accounts-from-a-house-in-aluthgama

 අලුත්ගම ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් කුලී පදනම මත ලබාගෙන එහි රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචාවල නිරත වූ චීන ජාතිකයන් දහසය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අලුත්ගම පොලිසිය සමත් විය. ඊයේ (09) පෙරවරු කාලයේදී පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත

මෙම හදිසි වැටලීම සිදු කර ඇති අතර, සැකකරුවන් දීර්ඝ කාලයක සිට මෙම ස්ථානයේ කඳවුරු බැඳගෙන මෙම ජාවාරම රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.




මෙම පිරිස අන්තර්ජාල තාක්ෂණය භාවිත කරමින් ලොව පුරා විවිධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා කිරීම සහ විවිධ උපාය මාර්ග මගින් පුද්ගලයින් මුලා කර මුදල් ලබා ගැනීම වැනි සයිබර් අපරාධ රැසක් සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇත. අත්අඩංගුවට පත් පිරිස පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී ඇපල් වර්ගයේ ජංගම දුරකථන විස්සක්, සිම් කාඩ්පත් පනහක් සහ ලැප්ටොප් පරිගණක ඇතුළු වංචාව සඳහා යොදාගත් විද්‍යුත් උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සෘජු අධීක්ෂණය සහ උපදෙස් යටතේ අලුත්ගම පොලිසිය විසින් මෙම වැටලීම සිදු කරන ලදී.


සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ මෙම ජාලය පිළිබඳ පුළුල් විමර්ශන පැවැත්වීම සඳහා අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයන් පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතව තිබේ.