400000-people-have-lost-their-jobs-due-to-the-disaster

ලෝක කම්කරු සංවිධානය (ILO) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රමිකයන් 374,000 කට අධික සංඛ්‍යාවකගේ රැකියා අවදානමට ලක්ව තිබේ. මෙම පිරිසට නැවත සේවය ඇරඹීමට හෝ වෙනත් සුදුසු රැකියා අවස්ථා සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන්ට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 48 ක (රුපියල් කෝටි 1480 ක් පමණ) ආදායමක් අහිමි වන බව




 එම වාර්තාව අවධාරණය කරයි. රැකියා අහිමිවූවන් අතරින් 244,000 ක් පිරිමින් වන අතර, කාන්තාවන් 130,000 ක් පමණ වන බවද එහි සඳහන් වේ. තවද, මෙම බලපෑමට ලක්වූ ශ්‍රමිකයන්ගෙන් 85,000 ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ද, 125,000 ක් කර්මාන්ත ක්ෂේත්‍රයේ ද, සහ 164,000 ක් සේවා ක්ෂේත්‍රයේ ද නියුක්තව සිටි අය බව වාර්තාවේ දැක්වේ.

මෙම ශ්‍රමිකයන්ට සිය ජීවනෝපාය සහ ආදායම් අහිමිවීම ඔවුන්ගේ පවුල්වලට ද දැඩි ලෙස බලපාන බවත්, එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීමට එම පවුල්වලට සිදුවනු ඇති බවත් ILO වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම, මෙහි ප්‍රතිඵලයක් ලෙස එම පවුල් ළමයින් රැකියාවලට යොමු කිරීමේ අවදානමක් මතුවිය හැකි බවටද අනතුරු අඟවා ඇත. සුළි කුණාටුවෙන් ඇතිවූ නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති බැවින්, වැඩිම හානියක් සිදුව ඇත්තේ කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රවලට අදාළ රැකියාවලට බවද එම වාර්තාවේ සඳහන් වේ.




ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් හේතුවෙන් මෙරට තේ ඵලදාව සියයට 35 කින් පමණ අඩුවිය හැකි බවද වාර්තාව අනාවරණය කරයි. සමස්ත තේ ඵලදාවෙන් 70% ක් පමණ කුඩා තේ වතු හිමියන් විසින් සපයන බැවින්, මෙම තත්ත්වය යටතේ සේවය කළ දහස් ගණනක් වූ ශ්‍රමිකයන්ට විශාල බලපෑමක් එල්ල වී තිබේ. ලෝක කම්කරු සංවිධානය පෙන්වා දෙන්නේ, මොවුන්ට සිදුව ඇත්තේ "කබලෙන් ළිපට වැටීමක්" බවත්, තම නිවාස අහිමි වූ බොහෝ දෙනෙකුට ඒ සමඟම ජීවනෝපායද අහිමිව ඇති බවත්ය.

සමස්තයක් ලෙස ගත් කල, සුළි කුණාටුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් හේතුවෙන් මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 16% ක් පමණ ප්‍රතිශතයක් අවදානමට ලක්ව ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. එම ආර්ථික වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 16 ක් (රුපියල් කෝටි 1600 ක්) පමණ වන බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.