වැලිගම, වලාන දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලෙස සේවය කළ වෛද්‍ය තේජාන් ජයසේකර මහතා ඊයේ (25) පස්වරුවේ මිරිස්ස මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියයන විට 49 හැවිරිදි වියේ පසුවූ වෛද්‍ය ජයසේකර මහතා, දියේ ගිලීමෙන් පසු අවට සිටි ප්‍රදේශවාසීන් විසින් ක්ෂණිකව බේරාගෙන, හදිසි ගිලන්රථ සේවාවක් මගින් ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව තහවුරු විය.
මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ වැලිගම පොලිස් වසමේ මිරිස්ස ප්‍රදේශයේ මුහුදු තීරයේදීය. වෛද්‍ය ජයසේකර මහතා වැලිගම වලාන රෝහලේ සිය රාජකාරී ආරම්භ කර ඇත්තේ මීට මාසයකට පමණ පෙර බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වැලිගම මුලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.