කෑගල්ල, හෙට්ටිමුල්ල, දික්වැල්ල ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී ලෙලි සහිත පොල් ගෙඩි දහයක් සොරකම් කළ බව කියන තරුණයකු පෙරේදා (23දා) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, හෙට්ටිමුල්ල, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ කෑගල්ල, දික්වැල්ල, දෙවෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය සිය වයෝවෘද්ධ මව, දියණිය සහ බෑනා සමඟ අදාළ නිවසේ පදිංචිව සිටින බව පොලිසිය සඳහන් කළේය. පසුගිය 16 වැනිදා දහවල් නිවස පිටුපස කාමරයක තිබූ ලෙලි සහිත පොල් ගෙඩි දහයක් අතුරුදන් වී ඇති බව ඇගේ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ.
අනතුරුව, අදාළ කාන්තාව විසින් අසල්වැසි නිවසක සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන නිරීක්ෂණය කර ඇති අතර, එහිදී පොල් ගෙඩි සොරකම් කළ සැකකරු හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව කෑගල්ල පොලිසියට පැමිණිලි කරමින් ඇය කියා ඇත්තේ, හඳුනාගත් සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදීම තම නිවසේ පිටුපස තිබූ පොල් සොරකම් කරගෙන යන ආකාරය එම සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී ඇති බවයි.
මෙම පැමිණිල්ලට අනුව විමර්ශනයක් සිදුකළ උප පොලිස් පරීක්ෂක සේනානායක විසින් සැකකරු පෙරේදා (23දා) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (24දා) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.