sajith-is-angry-over-the-burning-of-an-elephant-in-mihintale

 මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේදී අලියකුට ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාටම කිසිදු භේදයකින් තොරව දඬුවම් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.



අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ, අඹගහවැව ප්‍රදේශයේදී පිරිසක් විසින් මෙම අලියාට ගිනි තබා ඇති අතර එය ඉතා පහත්, නින්දිත සහ පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස හෙළා දකින බව විපක්ෂ නායකවරයා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.




මෙම අපරාධයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා වැළැක්වීම සඳහා රජය, වනජීවී දෙපාර්තමේන්තුව සහ සිවිල් සමාජය එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද හෙතෙම පෙන්වා දුන්නේය.

අගතියට පත් සත්ත්වයාට ප්‍රතිකාර කිරීම සඳහා කැප වූ වනජීවී පශු වෛද්‍යවරුන්ට සහ නිලධාරීන්ට තම කෘතඥතාව පළ කළ ප්‍රේමදාස මහතා, මෙවැනි හීන දීන ක්‍රියා සමස්ත ජාතියම එක්ව හෙළා දැකිය යුතු බවත් ඒවා වහාම නතර කළ යුතු බවත් අවධාරණය කළේය.

මෙවැනි ක්‍රියාවල නිරත වන ඕනෑම අයෙකු නීතිය ඉදිරියේ වගකිව යුතු බව තහවුරු කිරීම සඳහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක විය යුතු බව ඒ මහතා පෙන්වා දුන් අතර, පරිසර හිතකාමියෙකු ලෙස මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළ කළ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව තුළ අලි–මිනිස් ගැටුම උග්‍ර වෙමින් පවතින බැවින් එය අවම කිරීම සඳහා ප්‍රජාව පදනම් කරගත් පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද කියා සිටියේය.




අලි–මිනිස් ගැටුම විසඳීමට සහ මිනිස් මෙන්ම අලි ජීවිත ආරක්ෂා කිරීමට සමගි ජන බලවේගය කැපවී සිටින බව ප්‍රකාශ කළ ඒ මහතා, සම්පත් හිඟයෙන් පීඩා විඳින වනජීවී දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් මානව සහ භෞතික සම්පත් ලබා දී ශක්තිමත් කළ යුතු බවත්, අලි–මිනිස් සහ වනජීවී ගැටුම් පවතින ප්‍රදේශවල පාසල් මට්ටමේ සිට ජාතික දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමේ අවශ්‍යතාව ද මතු කළේය.

අලි–මිනිස් ගැටුම වැළැක්වීම සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය අසමත් වී ඇති බවත්, ඒ හේතුවෙන් මේ සඳහා හදිසි ජාතික සැලැස්මක් වහාම හඳුන්වා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

gossiplanka image 1