mp-ashoka-ranwala-hospitalized-in-car-accident

 හිටපු කථානායකවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (11) පස්වරුවේ රිය අනතුරක් සිදුව තිබේ. සපුගස්කන්ද, දෙනිමල්ල ප්‍රදේශයේදී රාත්‍රී 7.45 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි.



මන්ත්‍රීවරයා ගමන් ගත් රථය සහ මෝටර් රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේදී මෝටර් රථය තුළ කාන්තාවක් සහ කුඩා දරුවෙකු ගමන් කර ඇත. අනතුර හේතුවෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කර තිබේ.




එමෙන්ම මෙම අනතුරින් ජීප් රථයේ ගමන් ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ද තුවාල ලබා ඇති අතර, ඔහු ද මේ වන විට ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් අනතුරට ලක් වූ ජීප් රථය සහ මෝටර් රථය මෙන්ම යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සපුගස්කන්ද පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.