පෞද්ගලික ගුවන් සමාගමක ගුවන් නියමුවරියක් විසින් සිය දරුවාගේ පීතෘත්වය තහවුරු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ නඩුවකට අදාළව, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න රුපියල් දස ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා ඊයේ (08) නියෝග කළේය. මීට පෙර අවස්ථාවකදී අධිකරණය හමුවේ පෙනී නොසිටි චාමික කරුණාරත්න මහතා ඊයේ දිනයේදී නීතිඥ සහායද ඇතිව අධිකරණයට පැමිණ සිටියේය.
පැමිණිලිකාර සෙව්වන්දි ඉනෝකා සේනාධීර මෙනවිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජෙරුෂා තම්බයියා මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියේ, විවාහ වන බවට පොරොන්දු වී තම සේවාදායිකාව සමග සබඳතාවක් පැවැත්වූ විත්තිකරු පසුව එය ප්‍රතික්ෂේප කර ඇති බවත්, එසේ විවාහ නොවන්නේ නම් දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවිය යුතු බවත්ය. එමෙන්ම දරුවාගේ පියා චාමික කරුණාරත්න බව විද්‍යාත්මකව තහවුරු කරගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසද පැමිණිලි පාර්ශ්වය එහිදී ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, මෙම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කළ චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව මහතා තර්ක කළේ, ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා බල කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව හා දරුවාගේ පීතෘත්වය ඔප්පු කිරීමේ සම්පූර්ණ වගකීම පැමිණිලිකාරිය සතු විය යුතු බවයි. තම සේවාදායකයා අදාළ පැමිණිලිකාරිය සමග ලිංගික සබඳතාවක් පැවැත්වූ බව පිළිගන්නා නමුත්, දරුවාගේ පීතෘත්වය භාරගැනීම හෝ ඒ වෙනුවෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පෙනී සිටීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළේය.
තවද පැමිණිලිකාරිය ගර්භණීව සිටියදී ඉන්දීය ජාතික ගුවන් නියමුවෙකු සමග ඡායාරූප ගෙන ඇති බවත්, එම ඉන්දීය ජාතිකයා දරුවා තමාගේ බවට සමාජ මාධ්‍ය හරහා පිළිගෙන ඇති බවට සාක්ෂි ඇති බවත් පවසමින් නීතිඥවරයා විත්තිකරුගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් කරුණු වාර්තා කර සිටියේය. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියම කළ අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර විභාගය 2026 වසරේ ජනවාරි මස 30 වැනිදා දක්වා කල් තැබීමට තීරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval