
ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය හේතුවෙන් සිදුවූ බව කියන මරණ සහ අඛණ්ඩව සිදුවන ඖෂධ නියාමන බිඳවැටීම් මුල්කරගෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) සහ සෞඛ්‍ය බලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග සහ විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය වසර දෙකක කාලය තුළ ඉන්දියානු සමාගමක් විසින් ආනයනය කරන ලද ඖෂධ සම්බන්ධයෙන් මෙම ගැටලු පැන නැගී ඇති අතර, අදාළ සමාගම අසාදු ලේඛනගත කිරීමට හෝ තහනම් කිරීමට පියවර ගත යුතු බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා පූර්ණ වගකීම භාරගත යුතු බවත්, වගකිවයුතු නිලධාරීන් ධුරවලින් ඉවත් විය යුතු බවත් පවසන ඒ මහතා, මහජනතාවට වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා ගන්නා ලෙස ඉල්ලීමක් ද කර ඇත.හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේ සිටි ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා, වත්මන් අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන ආයතනවල නොසැලකිල්ල මෙම තත්ත්වයට හේතු වී ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ. නිසි ලියාපදිංචියකින් තොරව ඖෂධ ආනයනය කිරීම, රෝහල්වලට නිකුත් කිරීමට පෙර සහ පසු අහඹු සාම්පල පරීක්ෂා නොකිරීම මෙන්ම එන්නත් තුළට බැක්ටීරියා ඇතුළු වූ ආකාරය පිළිබඳ විධිමත් පරීක්ෂණ නොපැවැත්වීම වැනි බරපතල චෝදනා ඊට ඇතුළත් ය. ඖෂධ තත්ත්ව පරීක්ෂණ අසමත් වූ සමාගම්වලින් දිගින් දිගටම ඖෂධ මිලදී ගැනීම, තාක්ෂණික ඇගයීම් කමිටුවල දුර්වලතා සහ භාවිතයෙන් ඉවත් කළ ඖෂධ නැවත භාවිතයට උපදෙස් දීම වැනි කරුණු ද මෙම පැමිණිල්ල මගින් අනාවරණය කර තිබේ.
වීදුරු කැබලි අඩංගු වීම නිසා මීට පෙර සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කළ කල් ඉකුත් වූ ප්‍රතිජීවකයක් නැවත භාවිත කිරීමට උපදෙස් ලබා දී ඇති බවත්, මෙවැනි ක්‍රියා මගින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය කෙරෙහි ජනතා විශ්වාසය බරපතල ලෙස පලුදු වී ඇති බවත් වෛද්‍ය සංජීව මහතා පෙන්වා දෙයි. සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීම් සහ ජීවිත හානි සම්බන්ධයෙන් නොසලකා හැරීම අපරාධමය වරදක් බැවින්, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසට එරෙහිව ක්‍රියාත්මක වූ නීතිමය ක්‍රියාමාර්ගවලට සමානව මෙම සිද්ධියට වගකිවයුත්තන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔහු ඉල්ලා සිටියි. මීට අමතරව, මෙම සිදුවීම් හරහා සිදුවිය හැකි මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිල්ලක් ගොනු කර ඇත.
මේ අතර, ඉන්දියාවේ 'Maan Pharmaceuticals' සමාගම විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ග බෙදා හැරීම වහාම අත්හිටුවන ලෙස දන්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය එහි දේශීය නියෝජිත සමාගම වන 'PTC Medical (Pvt) Ltd' වෙත හදිසි චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඖෂධවල ආරක්ෂිත බව තහවුරු වන තෙක් ඖෂධ වර්ග දහයක් භාවිතය තාවකාලිකව අත්හිටුවීමට රෝහල්වලට නියෝග කර ඇති බව අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා තහවුරු කළේය. මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීව විද්‍යා විශේෂඥවරයෙකුගේ මූලික පරීක්ෂණ සහ ඖෂධ අතුරු ආබාධ මෙන්ම මරණ වාර්තා වීම් සැළකිල්ලට ගනිමින්, අවදානම් ඇගයීම් අනුකමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇත.
භාවිතය අත්හිටුවන ලද ඖෂධ අතර ඔන්ඩන්සෙට්‍රොන් (Ondansetron), සෙෆොටැක්සිම් (Cefotaxime), කො-ඇමොක්සික්ලාව් (Co-amoxiclav), හැලෝපෙරිඩෝල් (Haloperidol), ඉමිපෙනෙම් සහ සිලස්ටැටින් (Imipenem with Cilastatin), අයන් සුක්‍රෝස් (Iron Sucrose), මෙරොපෙනෙම් (Meropenem), පිපරසිලින් සහ ටෙසෝබැක්ටම් (Piperacillin with Tazobactam) මෙන්ම සල්බැක්ටම් සහ සෙෆොපෙරසෝන් (Sulbactam with Cefoperazone) ඇතුළත් වේ. මෙම ඖෂධ පෞද්ගලික අංශයෙන් ඉවත් කර ඇති බවට අදාළ සමාගම තහවුරු කර ඇති අතර, ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය (NMQAL) මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval