
ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියකට අදාළ චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කටයුතු අවසන් වන තුරු මෙම වැඩ තහනම ක්‍රියාත්මක වන බව
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.අදාළ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අනුව පසුගිය 20 වැනිදා රාත්‍රී 08.40ට පමණ රාජකාරී නිමවා නිවස බලා යමින් සිටි තමාට කළුගල පන්සල අසලදී මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පහර දී යතුරුපැදිය පැහැරගෙන ගිය බවට අදාළ කොස්තාපල්වරයා විසින් 119 මධ්‍යස්ථානය හරහා කොළොන්න පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි. එහෙත් එදින රාත්‍රී 10.10ට පමණ පැමිණිල්ලක් කරමින් ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, තමන් කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී අදාළ කොස්තාපල්වරයා යතුරුපැදිය හරස් කර මාර්ගය අවහිර කරමින් පහර දීමට තැත් කළ බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා පවසා සිටියේ, මන්ත්‍රීවරයා පහර දුන් බවට කොස්තාපල්වරයා පැවසුවද අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව පහරදීමක සලකුණු කිසිවක් සිරුරේ නොමැති බවයි. එසේම යතුරුපැදිය පැහැර ගත් බවට කොස්තාපල්වරයා පැමිණිලි කළද, පොලිස් කණ්ඩායම් එම ස්ථානයට යන විට යතුරුපැදිය එම ස්ථානයේම තිබී හමුවීම හේතුවෙන් කොස්තාපල්වරයා අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේද යන්න පිළිබඳව සැකයක් මතුවන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් සිද්ධියෙන් පසු රෝහල් ගත වූ කොස්තාපල්වරයාගේ ප්‍රශ්වාස වාතයෙන් මත්පැන් ගඳ වහනය වන බව වෛද්‍ය වාර්තාවල සටහන්ව ඇති අතර, ඔහුගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අයුතු ලෙස අවහිර කිරීම, සාපරාධී බලහත්කාරකම් පෑම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී මහේස්ත්‍රාත් තිළිණ යූ. පීරිස් මහතා සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේය.