is-it-good-or-bad-to-keep-the-charger-plugged-in-all-the-time

 වර්තමාන ලෝකයේ අප බොහෝ දෙනෙකුගේ දෛනික ජීවිතය ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ස්මාර්ට් අත් ඔරලෝසු සහ හෙඩ්ෆෝන් වැනි නැවත ආරෝපණය කළ හැකි විද්‍යුත් උපකරණ රාශියක් සමඟ බැඳී පවතී. බොහෝ විට අපගේ පුරුද්ද වී ඇත්තේ මෙම උපකරණ ආරෝපණය කර අවසන් වූ පසුව හෝ උපකරණය ඉවත් කරගත් පසුවත්,

චාජරය විදුලි පේනු (wall sockets) තුළ එලෙසම තබා වෙනත් කාර්යයකට යොමු වීමයි. නමුත් මෙලෙස චාජර් දිගින් දිගටම විදුලියට සම්බන්ධ කර තැබීම ආරක්ෂිතද යන්නත්,


ඉන් අමතර මුදලක් වැය වේද යන්නත් විමසා බැලීම වැදගත්ය.

සාමාන්‍යයෙන් චාජරයක් මගින් සිදු කරන්නේ බිත්ති පේනුවෙන් ලැබෙන ප්‍රත්‍යාවර්ත ධාරාව (AC), අපගේ ඉලෙක්ට්‍රොනික උපකරණයේ බැටරියට ගැලපෙන අඩු වෝල්ටීයතාවයකින් යුත් සරල ධාරාවක් (DC) බවට පරිවර්තනය කිරීමයි. මෙම ක්‍රියාවලිය සිදු කිරීම සඳහා චාජරය තුළ ට්‍රාන්ස්ෆෝමරයක් සහ විවිධ පරිපථ කොටස් අන්තර්ගත වන අතර, විදුලි සැපයුමට සම්බන්ධ කර ඇති සෑම මොහොතකම එම කොටස් ක්‍රියාත්මක මට්ටමේ පවතී. ඔබ දුරකථනයක් හෝ වෙනත් උපකරණයක් සම්බන්ධ කර නොතිබුණත්, චාජරය පේනුවට ගසා ස්විචය ක්‍රියාත්මක කර ඇති නම් එයින් නොකඩවා සුළු විදුලි ප්‍රමාණයක් වැය වීම සිදුවන අතර එය 'Vampire power' හෝ 'Standby power' ලෙස තාක්ෂණිකව හඳුන්වනු ලබයි.

තනි චාජරයක් ගත් කල මෙම අමතර බලශක්ති පරිභෝජනය ඉතා අල්ප ප්‍රමාණයක් ලෙස පෙනී ගියද, නිවසක ඇති සියලුම චාජර් වසරක් පුරා එලෙස විදුලියට සම්බන්ධ කර තැබීමෙන් සැලකිය යුතු විදුලි බලයක් අපතේ යා හැකිය. කෙසේ වෙතත් නූතන තාක්ෂණයෙන් යුත් උසස් තත්ත්වයේ චාජර් නිර්මාණය කර ඇත්තේ මෙම බලශක්ති හානිය අවම වන පරිදි, බාහිර උපකරණයක් සම්බන්ධ නොවන විට 'Sleep mode' එකක තබා ගැනීමට හැකි වන අයුරිනි.


නමුත් පැරණි හෝ ප්‍රමිතියෙන් තොර චාජර් භාවිතයේදී මෙම විදුලි නාස්තිය ඉහළ අගයක් ගත හැක.

බලශක්ති හානියට අමතරව, අනවශ්‍ය ලෙස දිගින් දිගටම විදුලියට සම්බන්ධ කර තැබීමෙන් චාජරයේ අභ්‍යන්තර කොටස්වල ආයු කාලය අඩු වීමේ අවදානමක් ද පවතී. අපගේ විදුලි පද්ධතියේ වරින් වර සිදුවන වෝල්ටීයතා වෙනස්වීම් සහ හදිසි විදුලි ඉහළ යෑම් (Voltage spikes) මගින් චාජරයට හානි සිදුවිය හැකි අතර, විශේෂයෙන්ම ප්‍රමිතියෙන් තොර බාල වර්ගයේ චාජර් භාවිතා කරන විට මෙම අවදානම බෙහෙවින් වැඩි වේ. එවැනි චාජර් වල ආරක්ෂිත පරිපථ විධිමත් නොවීම හේතුවෙන් ඒවා අධික ලෙස රත් වී ගිනි ගැනීම් පවා ඇති වීමට ඉඩ ඇති බව විශේෂඥ මතයයි.

නූතන චාජර් ආරක්ෂිත බව සහ බලශක්ති කාර්යක්ෂමතාවයෙන් ඉහළ බව සත්‍යයක් වුවද, අනවශ්‍ය සෑම අවස්ථාවකදීම ඒවා විදුලි පේනුවෙන් ගලවා තැබීම වඩාත් නුවණට හුරු ක්‍රියාවකි. යම් හෙයකින් ඔබේ චාජරය ආරෝපණය නොකරන අවස්ථාවකදී වුවද සාමාන්‍ය ප්‍රමාණයට වඩා රත් වන්නේ නම්, අසාමාන්‍ය ශබ්දයක් නිකුත් කරන්නේ නම් හෝ එයට භාහිර හානි සිදුවී ඇත්නම්, එම චාජරය තවදුරටත් විදුලියට සම්බන්ධ කර නොතැබිය යුතු අතර වහාම භාවිතයෙන් ඉවත් කිරීමට වගබලා ගත යුතුය.