chinese-delegation-arrives-in-sri-lanka-to-seek-disaster-relief-assistance

 චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් දිවයිනේ නිල සංචාරයක් සඳහා අද (23) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියහ.



චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික මෙන්ම ෂී සං කලාපයේ පක්ෂ ලේකම් වැන්ග් ජුන් ෂෙන්ග් (Wang Junzheng) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම දූත පිරිසට සාමාජිකයින් 11 දෙනෙකු ඇතුළත් වන බව වාර්තා වේ.

අද උදෑසන 9.45ට පමණ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබිණි.




මෙම රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මෙන්ම වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

අද දින සිට එළඹෙන 25 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින මෙම දූත පිරිස, චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම සංචාරයේ නිරත වෙයි.

මෙම දූත පිරිස, සිය සංචාරය අතරතුර ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෑතකදී ඇති වූ සුළි කුණාටු ව්‍යසනයෙන් පසුව රටට අවැසි හදිසි අවශ්‍යතා සපුරා ගැනීම මෙන්ම ඉදිරියේදී චීනයෙන් ලබාගත හැකි ආධාර පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය අතර අවධානය යොමු කිරීමට නියමිතව ඇත.