colombo-parking-incident-mp-archuna-arrested

 පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද දින කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.



මෙසේ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ, ඊයේ (23) දිනයේදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර තිබීමයි. රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ පවතින නඩුවක් ඊයේ දිනයේ කැඳවූ අවස්ථාවේදී, මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කරන ලදී.

අදාළ නඩුව සම්බන්ධයෙන් මීට පෙර ඇප මත මුදා හැර සිටි මන්ත්‍රීවරයා, නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී නොසිටි හෙයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණි.

මෙම නඩුවට පාදක වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ සිදුවූ සිද්ධියකි. කොළඹ කොටුව ප්‍රදේශයේ වාහන නැවැත්වීම තහනම් ස්ථානයක රථයක් නවතා තැබීම සම්බන්ධයෙන් රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් සමග මන්ත්‍රීවරයා බහින්බස් වී තිබුණි. එහිදී 'මෝඩයෝ... ඔයාලගෙ ඔලුවෙද මං නවත්වන්නේ' යනුවෙන් පවසමින් පොලිස් නිලධාරීන්ට බැණ වදින දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය විය.

එම අවස්ථාවේදී පොලිසිය විසින් මන්ත්‍රීවරයාට යම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් යෑමට අවසර ලබා දුන්නද, පසුව අදාළ වීඩියෝ සාක්ෂි පදනම් කර ගනිමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ වරද යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය කටයුතු කළේය. මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිසිය සමග ගැටුම් ඇති කර ගත් ඉතිහාසයක් ඇති මන්ත්‍රීවරයා, මෙම සිද්ධිය වූ අවස්ථාවේදී කාන්තාවක් සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටින අයුරු ද එම වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණි.
සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් click here


gossiplanka image