colombo-council-corruption-probe

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ මහනගර සභාවේ 2010 සිට 2025 දක්වා කාලය තුළ සිදුවූ බවට පැවසෙන දූෂණ, බලය අනිසි ලෙස භාවිත කිරීම් සහ මුදල් අවභාවිතාව ඇතුළු අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කර තිබේ.




2025 දෙසැම්බර් මස 30 වන දින ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් මේ බව සඳහන් වේ. එම නිවේදනයට අනුව, රාජ්‍යයට විශාල දේපල හා ආදායම් අලාභයක් සිදු වී ඇති බවට සහ කොළඹ මහනගර සභාවට අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇති බවට චෝදනා කරමින් දූෂණ හා වංචා ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී තිබේ.

මෙම පැමිණිලි, චෝදනා සහ තොරතුරුවල සත්‍යතාව තහවුරු කර ගැනීම, වගකිවයුත්තන් හඳුනා ගැනීම සහ අනාගතයේදී එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා ජාතියේ ප්‍රයෝජනය පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා ඒවා විමර්ශනය කර පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.




ඒ අනුව, මෙම චෝදනා එල්ල වන වැරදි විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ ඒ පිළිබඳව වාර්තා කිරීම මෙන්ම අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා විමර්ශන කොමිෂන් සභාවක් පත් කර ඇත.

එම විමර්ශන කොමිෂන් සභාවට පහත සඳහන් පුද්ගලයන් පත් කර ඇත: 
* නීතිඥ පියසේන රණසිංහ මහතා – හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 
* ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක මහතා – ශ්‍රී ලංකා විගණන සේවයේ ජ්‍යෙෂ්ඨ පළමු ශ්‍රේණියේ නිලධාරී 
* ඩී.එස්. වික්‍රමසිංහ මහතා – හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී



තවද, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නීතිඥ පියසේන රණසිංහ මහතා, මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නම් කර තිබේ.

මෙම කොමිෂන් සභාවට, වරෙන්තු නිකුත් කළ දින සිට මාස තුනක් ඇතුළත අතරමැදි වාර්තාවක් ද, ඉන් පසු මාසිකව තවත් අතරමැදි වාර්තා ද, සොයාගැනීම් සහ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාවක් මාස හයක් ඇතුළත ද ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.