colombo-budget-crucial-votes

කොළඹ මහ නගර සභාවේ අයවැය විවාදයේදී සර්ව ජන බලය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ඡන්දය අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි. අයවැය ඡන්ද විමසීමේ අවසන් මොහොතේදී ඊට පක්ෂව සහ විපක්ෂව සමාන ඡන්ද සංඛ්‍යාවක් සටහන් වීමත් සමග, උද්ගත වූ තත්ත්වය හමුවේ සර්ව ජන බලය සිය ඡන්ද දෙක අයවැයට එරෙහිව භාවිතා කිරීමට තීරණය කළ බව ඔහු කියා සිටියේය.




මෙම තීරණය හේතුවෙන්, කොළඹ මහ නගර සභාව තුළ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද මංගල අයවැය පරාජය කිරීමට හැකි වූ බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි. අක්‍රමික හා වංචනික ආකාරයෙන් රහස් ඡන්ද ක්‍රමවේද හරහා බලය ලබාගත් සභාවල සැබෑ තත්ත්වය මෙම සිදුවීමෙන් මනාව අනාවරණය වන බවද හෙතෙම අවධාරණය කරයි.

මහාචාර්ය ජයසුමන මහතා පෙන්වා දෙන්නේ, මේ වන විට පළාත් පාලන ආයතනවල අයවැය එකින් එක අසාර්ථක වෙමින් පවතින්නේ අක්‍රමික ක්‍රමවේද ඔස්සේ රහස් ඡන්ද මගින් ජාතික ජන බලවේගය බලය ලබාගත් සභාවල බවයි. කොමසාරිස්වරුන්ගේ මැදිහත්වීමෙන් රහස් ඡන්ද ක්‍රමවේද ඔස්සේ මෙවැනි සභා පිහිටුවනු ලැබුවද, ඒවා ස්ථාවරව පවත්වාගෙන යාමට කොමසාරිස්වරුන්ට හැකියාවක් නොමැති බව මෙම සිදුවීමෙන් පැහැදිලි වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.




වත්මන් රජය අඛණ්ඩව ජනතාව පීඩාවට පත් කරමින් ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම්, කොළඹ මහ නගර සභාවට අත් වූ ඉරණම වැඩි කලක් යන්නට පෙර රජයටද අත්විඳීමට සිදුවනු ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා අනතුරු අඟවයි.