මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සිරිගල, මොනරකැලේ වත්තේ පිහිටි නිවාස කිහිපයක බිත්ති හදිසියේ ඉරිතලා යෑමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් එහි පදිංචිව සිටි පවුල් තුනක සාමාජිකයන් ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. අදාළ නිවාසවල බිත්තිවල ඇති වී තිබෙන ඉරිතැලීම්
සහ ඇලවීම් හේතුවෙන් එම නිවාස ඕනෑම මොහොතක කඩා වැටීමේ දැඩි අවදානමක් මතු වී තිබුණු බව මොනරාගල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසේකර මහතා සඳහන් කළේය.නිවැසියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පසුගිය 08 වනදා මෙම පිරිස ඉවත් කිරීමට කටයුතු කළ අතර, මේ වන විට ඔවුන් මොනරාගල මයුරගිරි කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ආරක්ෂිත මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. අනතුරුව අදාළ ආපදා ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට සහ අවතැන් කඳවුරේ පසුවන පවුල්වල සුවදුක් විමසා බැලීම සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. නිශාන්ත මහතා ද එම ස්ථානයට පැමිණියේය.
ආපදාවට ලක්ව ආරක්ෂිත මධ්‍යස්ථානයේ රැඳී සිටින පිරිසට අවශ්‍ය ආහාර පාන ඇතුළු මූලික පහසුකම් අඛණ්ඩව ලබා දීමට පියවර ගන්නා ලෙස මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා නිලධාරීන් දැනුවත් කළේය. එමෙන්ම අවතැන් වූවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විධිමත් සනීපාරක්ෂක පහසුකම් සහ වෛද්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙස ද හෙතෙම අදාළ අංශ වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval