අනුරාධපුර නගරයට බලපෑ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් අඩක් ජලයෙන් යටව තිබූ පරිගණක අලෙවි මධ්‍යස්ථානයක් බිඳ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිගණක 51ක් ඇතුළු දේපළ තොගයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අනුරාධපුර මාකට් පෙදෙසේ පළමු වැනි හරස් වීදියේ පරිගණක අලෙවිය සහ අලුත්වැඩියා කිරීම සිදුකරන වෙළෙඳසලක මෙම සොරකම සිදුව ඇති අතර,
එහි හිමිකරු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ. අදාළ ව්‍යාපාරිකයා පසුගිය 28 වැනිදා රාත්‍රියේ තම වෙළෙඳසල වසා දමා ගොස් ඇති අතර, පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් යළි පසුගිය 30 වැනිදා වෙළෙඳසල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී එහි දොරට දමා තිබූ ඉබි යතුරු කඩා දමා ඇති බව නිරීක්ෂණය වී තිබේ.
අනතුරුව සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ වෙළෙඳසල තුළට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් එහි අලෙවිය සඳහා තබා තිබූ ලැප්ටොප් පරිගණක 23ක්, අලුත්වැඩියාව සඳහා බාර දී තිබූ පරිගණක 11ක් සහ අලුත්වැඩියා කර විකිණීමට සූදානම් කර තිබූ පරිගණක 17ක් ඇතුළුව මුළු ලැප්ටොප් පරිගණක 51ක් සහ තවත් උපාංග තොගයක් සොරාගෙන ගොස් ඇති බවයි.
සොරාගෙන ඇති අදාළ පරිගණක සහ උපාංගවල මුළු වටිනාකම රුපියල් එක් කෝටි පනස් දෙලක්ෂ හතළිස් පන් දහස් පන්සිය හැත්තෑ පහක් (15,245,575) පමණ වන බවට තක්සේරු කර ඇති අතර අනුරාධපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval