ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අහෝසි කර නව සමාගම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ සිදුවන ප්‍රමාදය හේතුවෙන්, වන්දි ලබාගෙන සේවයෙන් විශ්‍රාම ගැනීමට අපේක්ෂාවෙන් සිටින සේවක පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව එම සේවකයෝ චෝදනා කරති.
මේ වන විට සේවකයන් 2,173 දෙනකු ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති නමුත්, ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමේ ක්‍රියාවලිය දිනෙන් දින කල් යාම හේතුවෙන් ඔවුන්ට වෙනත් රැකියාවන් සඳහා යොමුවීමට, විදේශගත වීමට හෝ හිමි වන්දි ලබා ගැනීමට නොහැකි වී තිබේ. මෙය ඔවුන්ට බරපතළ ගැටලු රැසක් මතු කර ඇති බවට එම සේවක කණ්ඩායම් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නිල වශයෙන් ලංවිම අහෝසි කරන තෙක් එම මණ්ඩලය තවදුරටත් ක්‍රියාත්මක වන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. එබැවින්, ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් සේවකයන්ට වන්දි ලබා දීමට නොහැකි වී ඇති බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
ඇතැම් සේවකයන් බරපතළ රෝගාබාධවලින් පෙළෙන බැවින් ඔවුන්ට අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සිදු කර ගැනීමට නොහැකි වී ඇති අතර, තවත් පිරිසකට වෙනත් රැකියාවන් සොයා ගැනීමට, විදේශගත වීමට හෝ නව ව්‍යාපාර ආරම්භ කිරීමට තිබූ සියලු බලාපොරොත්තු ඉටු කර ගැනීමට නොහැකි වී ඇතැයිද මෙම සේවකයෝ චෝදනා නගති.
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම 2024 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණද, ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ පවතින අඛණ්ඩ ප්‍රමාදයන් හේතුවෙන් වන්දි ලබා දීම තවත් මාස කිහිපයකින් කල් යනු ඇතැයි ලංවිම සේවකයෝ තවදුරටත් කනස්සල්ල පළ කරති.
ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවක සංඛ්‍යාව 22,500ක් වන අතර, ඉන් 2,173 දෙනකු මේ වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාර දී අවසන්ය. ඉතිරි සේවක පිරිස නව සමාගම් හතරක් යටතට අනුයුක්ත කර ඇති බව වාර්තා වේ.